ශු .ත්‍රීත්වයේ මංගල්‍යය


පළමු කියවීම /ද්වි .නි .සං 4:32-34,39-40

32 ''තවද, දෙවියන් වහන්සේ මිහි පිට මිනිසා මැවූ දා සිට මේ දක්වා ගෙවීගිය දීර්ඝ කාලය තුළ වේවා, අහසේ එක් කොණක සිට අනික් කොණ දක්වා වේවා, මෙයාකාර මහා දෙයක් සිදු වූ බවක් හෝ එවැන්නක් ගැන ඇසූ බවක් හෝ දැනගන්නට තිබේ ද? 33 ගින්න මැද සිට කතා කළ දෙවියන් වහන්සේට ඔබ සවන් දුන්නාක් මෙන් කිසියම් සෙනඟක් උන් වහන්සේගේ හඬට සවන් දී ජීවත් ව සිටිත් ද? 34 ඔබ බලා සිටිය දී ම මිසරයේ දී ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට කළ සියල්ල අනුව වෙන කිසියම් දෙවි කෙනෙක්, අභියෝග දක්වා, හාස්කම් සහ අරුමපුදුම දේ පා, යුද්ධයෙන් ද, බාහු බලයෙන් හා දිගු කළ හස්තයෙන් ද මහා බියජනක දේ කර, එක් ජාතියක් තවත් ජාතියක් මධ්‍යයෙන් තෝරාගන්නට වැඩිය සේක් ද?


39 එබැවින් සමිඳාණන් වහන්සේ ඉහළ ස්වර්ගයෙහිත්, පහළ මිහි පිටත් වැඩ වසන දෙවියන් වහන්සේ බවත්, උන් වහන්සේ හැර අන් දෙවි කෙනෙකු නැති බවත් මෙදින වටහාගෙන තරයේ සිතින් මෙනෙහි කරන්න. 40 ඔබට ද ඔබෙන් පසු ඔබේ පෙළපතට ද ශුභසිද්ධිය සැලසෙනු පිණිසත්, දෙවි සමිඳාණන් වහන්සේ ඔබ හට සදහට ම දානය කරන දේශයෙහි ඔබ දිගායු වළඳන පිණිසත් මා ඔබට අද දින අණ කරන උන් වහන්සේගේ නීති සහ නියෝග ඔබ පිළිපැදිය යුතු ය.''


දෙවන කියවීම /රෝම 8:14-17

14 දේවාත්මයාණන් විසින් මඟ පෙන්වනු ලබන්නෝ දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ ය. 15 මන්ද, ඔබ ලබා ඇත්තේ නැවතත් බිය ගෙන දෙන වහල් සේවයේ තත්ත්වය නොව, ''අබ්බා, පියාණෙනි''යි අමතා යාච්ඤා කිරීමට ඉඩ ඇති පුත්‍රකම ලැබීමේ තත්ත්වයකි. 16 අප දෙවියන් වහන්සේගේ දරුවන් බවට ශුද්ධාත්මයාණෝ ම අප ආත්මය හා එක් ව සාක්ෂි දරති. 17 අපි දරුවෝ නම් උරුමක්කාරයෝ ද වම්හ. දෙවියන් වහන්සේගේ උරුමක්කාරයෝ ද ක්‍රිස්තුන් වහන්සේ හා සමඟ හවුල් උරුමක්කාරයෝ ද වම්හ. මන්ද, දැන් උන් වහන්සේගේ දුක් විඳීමේ පංගුකාරයන් වීමෙන්, අනාගතයේ දී උන් වහන්සේගේ මහිමයේ පංගුකාරයෝ ද වම්හ.

සුවිශේෂය /මතෙව් 28:16-20

16 ශ්‍රාවකයෝ එකොළොස් දෙනා ජේසුස් වහන්සේ ඔවුන්ට නියම කළ පරිදි ගලීලයේ කන්දට ගියහ. 17 ඔව්හු උන් වහන්සේ දැක පසඟ පිහිටුවා වැන්දෝ ය; එහෙත් සමහරෙක් සැක කළහ. 18 ජේසුස් වහන්සේ ඔවුන් වෙතට අවුත් කතා කොට, ''ස්වර්ගයෙහි ද පොළොවෙහි ද සියලු බලය මට පවරා තිබේ. 19 එබැවින් ඔබ ගොස්, සකල ජාතීන් ශ්‍රාවකයන් කරන්න; පියාණන්ගේ ද පුත්‍රයාණන්ගේ ද ශුද්ධාත්මයාණන්ගේ ද නාමයෙන් ඔවුන් බව්තීස්ම-ස්නාපනය කරන්න; 20 මා ඔබට අණ කළ සියල්ල රක්ෂා කරන්න ඔවුන්ට උගන්වන්න. මම ද යුගාන්තය දක්වා සදහට ම ඔබ හා සමඟ සිටිමි''යි වදාළ සේක.


Comments