ජුනි 02 ,සෙනසුරාදා - දිව්‍ය පූජාවේ කියවීම්


පළමු කියවීම /ජූද් 1:17,20-25

17 ප්‍රේමවන්තයෙනි, අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ සිය ප්‍රේරිතයන් ලවා පැවසූ මේ වචන සිහි කරන්න: 18 ''අන්තිම දවස්වල දී, ආගමට ගරහමින් තමන්ගේ තෘෂ්ණා අනුව හැසිරෙන අය පැමිණෙනු ඇතැ''යි ඔව්හු කී හ. 
20 එහෙත් ප්‍රේමවන්තයෙනි, ඔබගේ පරිශුද්ධ ඇදහිල්ලෙහි ශක්ති සම්පන්න වන්න; ශුද්ධාත්මයාණන්ගේ බලයෙන් යාච්ඤා කරන්න. 21 අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ සිය දයාවෙන් ඔබට දෙන, සදාතන ජීවනය බලාපොරොත්තු වෙමින්, දෙවියන් වහන්සේගේ ප්‍රේමයෙහි පවතින්න. 
22 සැක සිත් ඇති සමහරුන්ට අනුකම්පා කරන්න; 23 සමහරුන් ගින්නෙන් ඉවතට ඇදගනිමින්, බියෙන් යුක්ත ව ඔවුන් ගළවාගන්න. අන් සමහරුන්ට පරිස්සමෙන් අනුකම්පාව දක්වන්න. ඔවුන්ගේ පවිටු තෘෂ්ණා කරණකොටගෙන කැළැල් වූ, වස්ත්‍රවලට පවා ද්වේෂ කරන්න.

24 ඔබ නොවැටෙන ලෙස ආරක්ෂා කිරීමටත්, උන් වහන්සේගේ තේජස ඉදිරියෙහි ඔබ කැළැල් රහිත ව ද, ඉමහත් ප්‍රීතියෙන් ද පිළිගැන්වීමටත් හැකි, 25 අපගේ ගැළවුම්කාර එක ම දෙවියන් වහන්සේට අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මඟින් මහිමය හා තේජස ද, පරාක්‍රමය හා බලය ද, සියලු යුගවලට ප්‍රථමයෙන් වූ ලෙස, දැනටත්, යුගයෙන් යුගයටත් වේ වා! ආමෙන්.

ගීය : මාගේ දෙවිදුනි ,මා හද ඔබ කෙරෙහි පිපාසයෙන් පෙලෙන්නේය 

1 දෙවිඳුනි, මාගේ දෙවිඳුනි, දැඩි ආශාවෙන් මම ඔබ සොයන්නෙමි. 
මා හද ඉතා ගිජු ලෙස ඔබ කෙරෙහි පිපාසයෙන් පෙළෙන්නේ ය. 
වියළි බිම ජලයට පිපාසා වන පරිදි මම ඉතා ආශාවෙන් ඔබ වෙත ඇදී යන්නෙමි. 


2 ඔබේ ශුද්ධස්ථානයේ දී මම ඔබ දෙස ඕනෑකමින් බලා සිටින්නෙමි. 
ඔබේ බලය ද මහිමාලංකාරය ද නරඹන්නෙමි. 
3 ඔබේ තිර පෙම මාගේ ජීවිතයටත් වඩා මට අගනේ ය; 
මාගේ මුව ඔබට ප්‍රශංසා කරන්නේ ය. 


4 මුළු ජීවිතයේ දී ම මම ඔබට ප්‍රශංසා කරන්නෙමි; 
ඔබේ නාමයෙන් අයැදිමින් මම ඔබ දෙසට දෑත නඟන්නෙමි. 
5 රස මස'වුලින් මෙන් මම සෑහීමට පත් වන්නෙමි; 
මා මුවින් තුති ගී ගයා මම ඔබ පසසන්නෙමි. 


සුවිශේෂය /මාක් 11:27-33

27 ඔව්හු යළිත් ජෙරුසලමට පැමිණියෝ ය. උන් වහන්සේ දේව මාලිගාවෙහි සක්මන් කරන කල, නායක පූජකවරු ද විනයධරයෝ ද ප්‍රජා මූලිකයෝ ද උන් වහන්සේ වෙත අවුත්, 28 ''ඔබ මේ දේවල් කරන්නේ කවර අධිකාරි බලයකින් ද? මේ දේවල් කිරීමට මේ බලය ඔබට පැවරුවේ කවරෙක් දැ''යි උන් වහන්සේගෙන් ඇසූ හ. 

29 ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කොට, ''මමත් ඔබෙන් ප්‍රශ්නයක් අසමි. මට පිළිතුරු දෙන්න; එවිට මේ දේවල් කරන්නේ කවර බලයකින් දැ යි මම ඔබට කියන්නෙමි. 30 ජොහන් බව්තීස්ම-ස්නාපනය කිරීමේ බලය ලැබුවේ දෙවියන් වහන්සේගෙන් ද නැතහොත් මනුෂ්‍යයන්ගෙන් ද? මට පිළිතුරු දෙන්නැ''යි වදාළ සේක.

 31 ඔව්හු තම තමන් අතර විවාද කරමින්, '' 'දෙවියන් වහන්සේගෙන් ය'යි අප කීවොත්, 'ඔහු අදහා නොගත්තේ මන්දැ'යි අපට කියනු ඇත. 32 එසේ නම්, 'මනුෂ්‍යයන්ගෙන් ය'යි කියමු ද?'' ජොහන් සැබැවින් ම 'දිවැසිවරයෙකැ'යි කොයි කවුරුනුත් පිළිගත් බැවින් ඔව්හු සෙනඟට භයින්, ''එසේ නොකියමු''යි තීරණය කොට, 33 ''අපි නොදනිමු''යි ජේසුස් වහන්සේට පිළිතුරු දුන්හ. ජේසුස් වහන්සේ ද, ''මේ දේවල් කරන්නේ කවර අධිකාරි බලයකින් දැ යි මමත් ඔබට නොකියමි''යි වදාළ සේක.

Comments