ජුනි 05,අඟහරුවාදා -දිව්‍ය පූජාවේ කියවීම්


පළමු කියවීම /2 පේදුරු 3:11-15,17-18

11 මේ මුළු විශ්වය මේ අයුරින් විනාශ වී යන බැවින්, ඔබ කොයි ආකාර අය විය යුතු ද? ඔබ ශුද්ධ හැසිරීමකින් භක්තිවන්ත ලෙස ජීවත් විය යුතු ය. 12 දෙවියන් වහන්සේගේ දවස පැමිණීම බලා සිට, එය ඉක්මන් කිරීමට උත්සාහ කරන්න. ඒ දවසේ දී අහස ගිනිගෙන විනාශ වනු ඇත. මහා භූතයන් දැවී උණු වී යනු ඇත. 13 එහෙත් ධර්මිෂ්ඨකමට වාස භූමිය වූ නව අහසක් ද නව පොළොවක් ද දෙවියන් වහන්සේ අපට පොරොන්දු වී ඇත. අපි එය බලාපොරොත්තුවෙන් සිටිමු. 

14 එබැවින්, ප්‍රේමවන්තයෙනි, ඔබ මේ දේවල් බලාපොරොත්තුවෙන් සිටින අතර, උන් වහන්සේ ඉදිරියෙහි නොකැළැල් ව, නිදොස් ව සිටින්නට දැඩි උත්සාහයක් ගෙන, උන් වහන්සේ සමඟ සාමදානයෙන් සිටින්න. 15 අපගේ සමිඳාණන් වහන්සේ බොහෝ කල් ඉවසන්නේ ඔබට ගැළවීමට අවස්ථාවක් දෙන පිණිස බව සිහි කරන්න. අපගේ ප්‍රේමවන්ත සහෝදර පාවුලු, තමා ලත් ප්‍රඥාව අනුව ඔබට ලියා එව්වේත් මේ දේ ම ය. 

17 එහෙත් ප්‍රේමවන්තයෙනි, ඔබට මේ දේවල් කල්තියා ම දන්වා ඇත. ඒ නිසා ප්‍රතිපත්ති රහිත අයගේ දුර්මතවලින් මුළා නොවී, ඔබගේ ස්ථීර භාවයෙන් නොවැටෙන්නට බලාගන්න. 18 අපගේ ස්වාමීන් ද ගැළවුම්කාරයාණන් ද වන, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ වරප්‍රසාදයෙහි ද උන් වහන්සේ දැනගැන්මෙහි ද වැඩිවර්ධනය වෙන්න. දැනුත් සදහටත් උන් වහන්සේට මහිමය වේ වා! ආමෙන්.

පිළිතුරු ගීය : සමිඳුනි පරපුරෙන් පරපුරට  ඔබ අපගේ වාසස්ථානය වන සේක 

2 කඳු හෙල් ඇති වන්නට පෙර සිට ඔබ පොළොව ද සක්වළ ද මවන්නට පෙර සිට සදාකාලයෙන් සදාකාලයට ම ඔබ දෙවියන් වහන්සේ වන සේක.
3 ඔබ මිනිසා යළි දූවිල්ලට හරවන සේක, 
''මිනිසුනි, දූවිල්ලට හැරේවා'' කියා ඔබ වදාරන සේක. 
4 ඔබ ඇස් ඉදිරියෙහි වසර දහසක් ගෙවී ගිය ඊයේ දවස වැනි ය, 
රැයේ එක යාමයක් වැනි ය. 


10 අප ආයු හැත්තෑ අවුරුද්දකි, සවි ශක්තිය ඇත්නම්, අසූවක් විය හැකි ය.
එහෙත්, ඒ කාලය කම්කටොළු හා දුක ම ය. 
අප ආයු ගෙවී ගොස් දිවි පෙවෙත වහා නිම වන්නේ ය. 


14 උදයෙන් උදය ඔබේ ප්‍රේමයෙන් පිරී අපි අවදි වමු. 
දිවිය පුරා තුටු පහටු සිතින් අපි ගී ගයමු. 
15 අප පීඩා වින්ද සමය පමණට ද අප නපුරට ලක් වූ කාලය තරමට ද අපට සොම්නස් සමයක් දුන මැනව.
16 ඔබේ ප්‍රබල ක්‍රියා ඔබේ මෙහෙකරු අපට ද ඔබේ තේජස අප පරපුරට ද දක්නට වරම් දුන මැනව. 


සුවිශේෂය /මාක් 12:13-17

13 වචනයකින් උන් වහන්සේ අසු කර ගන්නා පිණිස ඔව්හු පරිසිවරුන්ගෙන් ද හෙරෝදිවරුන්ගෙන් ද සමහරෙකු උන් වහන්සේ වෙත යැවූ හ. 14 ඔව්හු අවුත්, ''ගුරුදේවයෙනි, ඔබ අවංක මිනිසෙකු බවත්, කිසිවෙකු නොතකන බවත් අපි දනිමු; ඔබ මිනිසුන්ගේ තරාතිරම් නොබලා, දෙවියන් වහන්සේගේ මාර්ගය සැබෑ ලෙස උගන්වන සේක. සීසර් අධිරාජයාට බදු දීම යුතු ද අයුතු ද? දෙමු ද, නොදෙමු දැ''යි උන් වහන්සේගෙන් ඇසූ හ.

15 එහෙත් උන් වහන්සේ ඔවුන්ගේ කෛරාටිකකම දැන, ''කුමට මා පරීක්ෂා කරන්නහු ද? මට බලන්න රිදී කාසියක් මෙහි ගෙනෙන්නැ''යි වදාළ සේක. 16 ඔව්හු කාසියක් ගෙනාහ. ''මේ රූපයත්, සටහනත් කාගේ දැ''යි උන් වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක. ''සීසර් අධිරාජයාගේ ය''යි ඔව්හු කී හ. 17 එවිට ජේසුස් වහන්සේ උත්තර දෙමින්, ''රජුගේ දේ රජුට ද දෙවියන් වහන්සේගේ දේ දෙවියන් වහන්සේට ද දෙන්නැ''යි ඔවුන්ට වදාළ සේක. ඔව්හු උන් වහන්සේ ගැන අතිශයින් පුදුම වූ හ.



Comments