ජුනි 09, මරිය තුමන්ගේ නිර්මල හෘදයේ මංගල්‍යය


පළමු කියවීම /යෙසායා 61:9-11

9 ඔවුන්ගේ වංශය ජාතීන් අතරේ ද ඔවුන්ගේ පරම්පරාව ජනයන් අතර ද ප්‍රසිද්ධ වන්නේ ය.
ඔවුන් හැඳිනගන්න සියල්ලෝ ඔවුන් සමිඳුන්ගේ ආසිරි ලත් සෙනඟ බව දැනගන්නෝ ය.'' 
10 මම සමිඳුන් කෙරෙහි බොහෝ ප්‍රීති වන්නෙමි; 
මාගේ දෙවිඳුන් කෙරෙහි මම ප්‍රීතියෙන් පිනා යන්නෙමි. 
මනාලයෙකු මල් මාලාවක් දමාගන්නාක් මෙන් ද මනාලිය ඇගේ ආභරණ පැළඳගන්නාක් මෙන් ද එතුමාණෝ ගැළවීම නමැති වස්ත්‍රය මට පළඳවන සේක. ධර්මිෂ්ඨකම නමැති සළුව මට හඳවන සේක. 
11 පොළොව අලුත් පැළෑටි උපදවන්නාක් මෙන් ද උයන එහි වපුළ දේ ලියලවන්නාක් මෙන් ද මහෝත්තම සමිඳුන් වන දෙවිඳාණෝ ධර්මිෂ්ඨකම හා ප්‍රශංසාව සියලු ජාතීන් ඉදිරියෙහි හට ගන්වන සේක.


පිළිතුරු ගීය :සමිදුන්ගේ ප්‍රේමය සදාකාලයටම පවත්නේය 

1 හන්නා යාච්ඤා කරමින් මෙසේ කීවා ය: 
''මා සිත සමිඳුන් කෙරෙහි ප්‍රීතිමත් වේ; 
මාගේ සවිය සමිඳුන් කෙරෙහි උසස් වී තිබේ. 
මාගේ මුවින් මා සතුරන්ට මම සරදම් කරමි; 
ඔබ මා ගැළෙවු නිසා මම ප්‍රීති වෙමි. 


4 බලවතුන්ගේ බලය දුබල වී ඇත. 
දුබලයෝ බලවත් වී ඇත. 
5 කා බී තර වී සිටි අය කුලී වැඩ කරති; 
සාගින්නෙන් පෙළී සිටි අයට සාගින්නක් තවත් නැත. 
වඳ ස්ත්‍රියට දරුවන් සත්දෙනෙක් ඇත. 
බොහෝ දරුවන් ලැබූ ස්ත්‍රියට දැන් එකෙක් වත් නැත. 
6 මරණය සමිඳුන්ගෙන් ය, ජීවිතය ද සමිඳුන්ගෙන් ය; 
පාතාලයට ගෙන යන්නේත්, එයින් ගෙන එන්නේත් සමිඳාණෝ ය. 


7 සමිඳාණෝ දිළිඳුකම ද පොහොසත්කම ද ඇති කරන සේක; 
පහත්කම ද උසස්කම ද ගෙන දෙන සේක. 
8 අධිපතීන් සමඟ හිඳුවන පිණිසත්, මහිමාසන උරුම කර දෙන පිණිසත්, එතුමාණෝ දුප්පතා ධූලියෙන් නැඟුටුවන සේක;
දිළින්දා කසළ ගොඩින් ඔසවන සේක. 
පොළොවේ පදනම් සමිඳාණන්ගේ ය; 
එතුමාණෝ ඒවා පිට ලොව පිහිටෙවු සේක. 


සුවිශේෂය /ලූක් 2:41-51

41 ජේසුස් වහන්සේගේ මවුපියෝ අවුරුදු පතා පාස්කු උළෙල සඳහා ජෙරුසලමට ගියහ. 42 උන් වහන්සේ දොළොසැවිරිදි වූ කල, ඔව්හු සිරිත් ලෙස ඒ මංගල්‍යයට ගියහ. 43 ඔවුන් නියමිත දවස් ගෙවා පෙරළා එන අතර, ජේසුස් කුමරාණෝ ජෙරුසලමෙහි රැඳුණු සේක; එහෙත්, උන් වහන්සේගේ දෙමවුපියෝ ඒ බව නොදැන, 44 උන් වහන්සේ වන්දනාකාර පිරිස සමඟ ඇතැ යි සිතාගෙන, දවසක ගමන් ගොස්, නෑ මිතුරන් අතරෙහි උන් වහන්සේ සෙවූ හ. 45 එහෙත් සම්බ නොවූයෙන්, ඔව්හු උන් වහන්සේ සොයමින් ජෙරුසලමට පෙරළා ගියහ. 

46 තෙදිනකට පසු ඔව්හු උන් වහන්සේ දේව මාලිගාවෙහි පඬිවරයන් මැද වැඩහිඳ ඔවුන් කී දේ අසමින් ද ඔවුන්ගෙන් ප්‍රශ්න විචාරමින් ද සිටිනු දුටුවෝ ය. 47 ඒ ඇසූ සියල්ලෝ ම උන් වහන්සේගේ බුද්ධි මහිමය හා පිළිතුරු ගැන විස්මිත වූ හ. 48 දෙමවුපියෝ උන් වහන්සේ දුටු කල මවිත වූ හ. උන් වහන්සේගේ මෑණියෝ, ''පුතා, කුමක් නිසා අපට මෙ‍සේ කෙළෙහි ද? බලන්න, ඔබේ පියා ද මම ද දුකින් තැවි තැවී ඔබ සෙවීමු''යි කී හ. 49 එවිට උන් වහන්සේ පිළිතුරු දෙමින්, ''ඔබ මා සෙව්වේ මන් ද? මා පියාණන්ගේ මැදුරෙහි මා සිටිය යුතු බව ඔබ නොදන්නහු දැ''යි ඔවුන්ට වදාළ සේක. 50 එහෙත්, උන් වහන්සේගේ ඒ කීම ඔවුන්ට අවබෝධ නො වී ය. 
51 උන් වහන්සේ ඔවුන් කැටුව ගොස් නාසරෙත් නුවරට පැමිණ ඔවුන්ට කීකරු වී විසූ සේක. උන් වහන්සේගේ මෑණියෝ මේ සියල්ලක් ම සිත්හි නිදන් කරගත්හ.


Comments