ජුනි 10,ඉරිදා - දිව්‍ය පූජාවේ කියවීම්


පළමු කියවීම /උත්පත්ති 3:9-15

9 එහෙත්, දෙවි සමිඳාණන් වහන්සේ මිනිසාට හඬ ගසමින්, ''නුඹ කොහේ දැ''යි ඇසූ සේක. 10 ''ඔබ වහන්සේගේ කටහඬ උයනේ මට ඇසිණි. එහෙත්, මා නග්න බැවින්, බිය වී සැඟවුණෙමි''යි ඔහු උත්තර දුන්නේ ය. 11 එවිට උන් වහන්සේ, ''නුඹ නග්න බව කීවේ කවරෙක් ද? මා නුඹට තහනම් කළ ගසින් නුඹ ගෙඩි කෑවෙහි දැ''යි ඇසූ සේක. 12 ඔහු ද පිළිතුරු දෙමින්, ''ඔබ මට සහකාරිය වශයෙන් දුන් ස්ත්‍රිය ඒ ගසේ ගෙඩි කඩා මට දුන්නා ය; මමත් කෑවෙමි''යි පැවසී ය. 13 එවිට දෙවි සමිඳාණන් වහන්සේ ස්ත්‍රියට කතා කොට, ''නුඹ මෙය කෙළේ මන්දැ''යි ඇසූ සේක. ''සර්පයා මා රැවටී ය; මමත් කෑවෙමි''යි ඈ පිළිතුරු දුන්නා ය.

14 එවිට දෙවි සමිඳාණන් වහන්සේ සර්පයාට කතා කොට මෙසේ වදාළ සේක: 
''තා මෙය කළ බැවින් සියලු ගමහිෂයන්ට ද වනයේ සියලු මෘගයන්ට ද වඩා තෝ සාප ලද්දෙක් වේ වා! 
දිවි ඇති තාක් උර ගා යමින් තෝ දූවිලි කන්නෙහි ය.
15 තා සහ ස්ත්‍රිය අතර ද තගේ වංශය සහ ඇගේ වංශය අතර ද බද්ධ වෛරය තබන්නෙමි. 
ඔහු තගේ හිස පොඩි කරන්නේ ය; 
තෝ ද ඔහුගේ විලුඹ දෂ්ට කරන්නෙහි ය.'' 


දෙවන කියවීම/2 කොරින්ති 4:13-5:1

13 තවද, ''මම විශ්වාස කළ නිසා කතා කෙළෙමි''යි ශුද්ධ ලියවිල්ල කියයි. එම ඇදහිල්ල ඇති අපිත් විශ්වාස කරන නිසා කතා කරමු. 14 ස්වාමීන් වන ජේසුස් වහන්සේ උත්ථාන කළ දෙවියන් වහන්සේ, ජේසුස් වහන්සේ සමඟ අපත් උත්ථාන කරන බව ද, ඔබ සමඟ අපත් උන් වහන්සේ ඉදිරියට පමුණුවන බව ද අපි දනිමු. 15 මේ සියල්ල ඔබ උදෙසා සලසා ඇත්තේ දේව වරප්‍රසාදය බොහෝදෙනෙකු වෙත පැතිරී වැඩි වී යාමෙන් දෙවියන් වහන්සේගේ මහිමය සඳහා ස්තුති දීම ද අධික වන පිණිස ය.

16 එබැවින් අපි අධෛර්ය නොවෙමු. බාහිර වශයෙන් අප දිරාපත් වෙමින් සිටියත්, අභ්‍යන්තරික වශයෙන් අපි දිනෙන් දින ම අලුත් වෙමින් පවතිමු. 17 දැනට අප විඳින තාවකාලික සුළු දුක, එය මුළුමනින් ම ඉක්මවා යන සදාතන තේජස් සම්භාරයකට මඟ පාදයි. 18 මන්ද, අප නෙත් යොමුකර සිටින්නේ දෘශ්‍යමාන දේ දෙස නොව අදෘශ්‍යමාන දේ දෙස ය. දෘශ්‍යමාන දේ තාවකාලික ය; අදෘශ්‍යමාන දේ සදාතනික ය.

1 කූඩාරමක් වන අපගේ භෞමික නිවාසය ගරා වැටුණත්, දෙවියන් වහන්සේගෙන් වන, අතින් නොතැනූ, සදාතන නිවාසයක් ස්වර්ගයෙහි අපට ඇති බව අපි දනිමු.

සුවිශේෂය /මාක් 3:20-35

20 උන් වහන්සේ ගෙදර ගිය සේක. ඔවුන්ට කෑම කන්න වත් අවකාශ නැති වන තරමට සමූහයක් යළිත් රැස් වූ හ. 21 උන් වහන්සේගේ නෑදෑයෝ ඒ අසා උන් වහන්සේ අල්ලාගැනීමට ගියහ. එසේ ගියේ, ''උන් වහන්සේ සිහිවිකල් වී සිටිති''යි සමහරුන් කී බැවිනි. 

22 ජෙරුසලමෙන් ආ විනයධරයෝ, ''මොහුට බෙල්සෙබුල් ආවේශ වී ඇතැ යි''ද, ''දුෂ්ටාත්මාධිපති බලයෙන් ඔහු දුෂ්ටාත්මයන් දුරු කරති''යි ද කී හ. 23 එවිට උන් වහන්සේ ඔවුන් තමන් වෙත කැඳවා, උපමාවලින් කතා කරමින් මෙසේ වදාළ සේක: ''සාතන් දුරු කරන්න සාතන්ට ම පුළුවන් ද? 24 යම් රාජ්‍යයක් ඊට ම විරෝධී ව භේද වුවහොත්, ඒ රාජ්‍යයට පවතින්න නොහැකි ය. 25 යම් ගෙදරක් ඊට ම විරෝධී ව භේද වුවහොත්, ඒ ගෙදරට පැවැත්මක් නැත්තේ ම ය. 26 සාතන් තමාට ම විරෝධී ව නැඟී භේද වුවහොත්, ඔහුට පැවැත්මක් නැත. එය අවසානය වේ. 27 එහෙත්, බලවතෙකු පළමුකොට බැඳදමා මිස, ඔහුගේ ගෙට වැද බඩු කොල්ලකන්න කිසිවෙකුට නොහැකි ය. ඔහුගේ ගෙය කොල්ලකන්න හැකි වන්නේ, එසේ කළොත් පමණකි. 


28 ''සැබැවින් ම මම ඔබට කියමි, මිනිසුන්ගේ සෑම පාපයන් ද සියලු ආකාර දේව අපහාසයන් ද කමා කරනු ලබන්නේ ය. 29 එහෙත්, ශුද්ධාත්මයාණන්ට අපහාස කරන කිසිවෙකුට කවර කලක වත් කමාවක් නැත්තේ ය. ඔහු සදාතන පාපයක් ගැන වරදකරුවෙකි.'' 30 මෙසේ වදාළේ, ''උන් වහන්සේට අශුද්ධාත්මයක් වැහී ඇතැ''යි ඔවුන් පැවසූ බැවිනි.


31 එවිට උන් වහන්සේගේ මෑණියෝ ද සහෝදරයෝ ද අවුත් පිටත සිට, උන් වහන්සේ කැඳවා පණිවුඩයක් යැවූ හ. 32 සමූහයක් උන් වහන්සේ අවට වාඩි වී උන්හ. ඔව්හු, ''අන්න, ඔබේ මෑණියෝත්, සහෝදරයෝත්, සහෝදරියෝත් පිටත සිට ඔබ සොයති''යි උන් වහන්සේට කී හ. 33 උන් වහන්සේ උත්තර දෙමින්, ''මාගේ මෑණියෝත්, මාගේ සහෝදරයෝත් කවුරු ද'' කියා පෙන්වමින්, 34 තමන් පිරිවරා අවට වාඩි වී සිටියවුන් දෙස වටේට බලා, ''මෙන්න මාගේ මෑණියෝ, මෙන්න මාගේ සහෝදරයෝ! 35 දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉටු කරන කවරෙක් හෝ වෙත් වා, ඔව්හු මාගේ සහෝදරයාත්, මාගේ සහෝදරීත්, මාගේ මෑණියෝත් ය''යි වදාළ සේක.

Comments