ජුනි 11 , සා :බර්ණබස් තුමන්ගේ මංගල්‍යය


පළමු කියවීම / ක්‍රියා 11:21-26,13:1-3

21 සමිඳාණන් වහන්සේගේ බලය ඔවුන් මත පහළ විය. එකල විශාල සංබ්‍යාවක් අදහාගෙන සමිඳාණන් වහන්සේ වෙතට හැරුණාහ. 
22 ඔවුන් පිළිබඳ පුවත ජෙරුසලමේ සභාවට සැළ විය. එවිට ඔව්හු බාර්ණබස් අන්තියෝකියට යැවූ හ. 23 ඔහු පැමිණ දේව වරප්‍රසාදය දැක, සන්තෝෂ වී, සමිඳාණන් වහන්සේට පක්ෂපාත ව, ස්ථීර ව, පවතින සේ සියල්ලනට අනුශාසනා කෙළේ ය. 24 බාර්ණබස්, වනාහි යහපත් වූ ද ශුද්ධාත්මයාණන්ගෙන් හා ඇදහිල්ලෙන් පූර්ණ වූ ද මිනිසෙකි. මෙසේ මහත් සමූහයක් සමිඳාණන් වහන්සේ සරණ ගියහ. 
25 බාර්ණබස් සාවුල් සොයමින් තාර්සසයට ගොස්, 26 ඔහු හමු වී, අන්තියෝකියට කැඳවාගෙන ආවේ ය. ඔව්හු අවුරුද්දක් මුළුල්ලෙහි ම සභාව හා එක්රැස් ව, මහත් සමූහයකට ඉගැන්වූ හ. 'ක්‍රිස්තියානි' යන නාමය ශ්‍රාවකයනට පළමුකොට දෙනු ලැබූයේ අන්තියෝකියේ දී ය. 


1 අන්තියෝකියේ පිහිටි සභාවෙහි දිවැසිවරු ද ගුරුවරු ද සිටියහ. එනම්, බාර්ණබස් සහ නීගර් නම් සිමියොන් ද සිරේනියේ ලුසියස් ද යුව රජ වූ හෙරොද් සමඟ ඇතිදැඩි වූ මානායින් ද සාවුල් ද යන මොවුහු ය. 2 ඔවුන් සමිඳාණන් වහන්සේට සේවය කරමින් උපවාසයේ යෙදී සිටි විට ශුද්ධාත්මයාණන් වහන්සේ කතා කොට, ''මා විසින් බාර්ණබස් ද සාවුල් ද කැඳවනු ලැබූ සේවය සඳහා ඔවුන් මට වෙන් කරන්නැ''යි වදාළ සේක. 3 එවිට ඔව්හු උපවාසයේ යෙදී යාච්ඤා කොට ඔවුන් පිට අත් තබා, ඔවුන් පිටත් කර යැවූ හ.

පිළිතුරු ගීය : සමිදාණෝ ස්වකීය ජයග්‍රහණය ප්‍රකාශ කල සේක 

1 සමිඳුන්ට නව ගීයක් ගයන්න; 
මන්ද, එතුමාණෝ අසිරිමත් ක්‍රියා කළ සේක. 
සිය බලයෙන් හා ශුද්ධ ශක්තියෙන් ජයග්‍රහණය ලත් සේක. 
2 සමිඳාණෝ ස්වකීය ජයග්‍රහණය ප්‍රකාශ කළ සේක; 
විජාතීන්ගේ ඇස් හමුයෙහි සිය විමුක්ති බලය එළිදරව් කළ සේක. 
3 එතුමාණෝ ඉශ්රායෙල් වංශය කෙරෙහි එතුමන්ගේ ප්‍රේමයත්, 
විශ්වාසවන්තකමත් සිහි කළ සේක. 
මිහි පිට සියලු දෙන අප දෙවිඳුන්ගේ ජයග්‍රහණය දුටුවෝ ය.
4 එම්බා ලෝ වැසි සියල්ලෙනි, සමිඳුන් හට ප්‍රීතියෙන් ගී ගයන්න; 
ප්‍රීති ගී ගයමින් එතුමන් පසසන්න. 
5 වීණාව වයමින් සමිඳුන්ට ගී ගයන්න; 
වීණාවෙන් ද ගී නාදයෙන් ද ප්‍රශංසා කරන්න. 
6 හොරණෑ හා නළා හඬින් ද රජාණන් වන සමිඳුන් අබිමුව ප්‍රීතියෙන් ගී ගයන්න.
7 මුහුද ද එහි ඇති සියල්ල ද ගර්ජනා කෙරේ වා! 
ලෝකය ද එහි වැසියෝ ද ගී ගයත් වා! 
8 ගංගා අත් පොළසන් දේ වා! 
කඳු හෙල් එක් ව සමිඳුන් හට ප්‍රීති නාද දේ වා! 


සුවිශේෂය /10:7-13

7 එසේ ගොස්, 'ස්වර්ග රාජ්‍යය ළං වී ඇතැ'යි දේශනා කරන්න. 8 රෝගීන් සුව කරන්න, මළවුන් නැඟුටුවන්න, ලාදුරු රෝගීන් පවිත්‍ර කරන්න. දුෂ්ටාත්මයන් දුරු කරන්න. ඔබ නොමිලයේ ලැබුවහු ය, නොමිලයේ දෙන්න. 9 ඔබේ පසුම්බිවල රන් හෝ රිදී හෝ තඹ කාසි හෝ ගෙන නොයන්න. 10 ගමන් මල්ලක් වත්, කමිස දෙකක් වත්, වහන් සඟලක් වත්, සැරයටියක් වත් සපයා නොගන්න. මන්ද, සේවකයාට අවශ්‍ය දේ ඔහු ලැබිය යුතු ය. 

11 ඔබ කවර නුවරකට හෝ ගමකට හෝ ඇතුළු වූ කල ඔබ පිළිගන්නට සතුටු කෙනෙකු සොයාගෙන, ඉන් නික්ම යන තුරු එහි ම නැවතී ඉන්න. 12 ගෙදරකට ඇතුළු වන විට එයට සුබ පතන්න. 13 ගෙයි වැසියෝ සුදුසු අය නම්, ඔබේ ඒ සුබ පැතුම ඔවුන් පිට පැමිණේ වා. එහෙත්, නුසුදුසු නම්, ඔබගේ ඒ සුබ පැතුම, යළි ඔබ වෙත පැමිණේ වා. 


Comments