ජුනි 13, ශු:අන්තෝනි මුනි තුමන්ගේ මංගල්‍යය


පළමු කියවීම /යෙසායා 61:1-13

1 මහෝත්තම දෙවි සමිඳුන්ගේ ආත්මානුභාවය මා කෙරෙහි පිහිටා ඇත. 

දිළිඳුන්ට සුබ අස්න දෙසීමට ද බිඳුණු සිත් ඇත්තන්ට සුව සෙත දීමට ද වහලුන්ට මිදීම දානය කරන්න ද සිරකරුවන්ට නිදහස දන්වන්න ද එතුමාණෝ මා ආලේප කළ සේක. 
2 සමිඳුන්ගේ කරුණාවේ දවස, සතුරන්ට දඬුවම් දීමේ දවස පළ කරන පිණිස ද වැලපෙන සියල්ලන් සනසන පිණිස ද එතුමා මා ආලේප කළ සේක. 
3 සියොන්හි දුක් වන සෑම දෙනාට අළු වෙනුවට මල්මාලා ද දුක් කඳුළු වෙනුවට ප්‍රීතිය නමැති තෛලය ද කලකිරී සිටින්නන්ට පැසසුම් නමැති වස්ත්‍රය ද ප්‍රදානය කරන පිණිස එතුමාණෝ මා ආලේප කළ සේක.
ඔවුන්ගේ දැහැමිතාව සමිඳුන් රෝපණය කළ කිහිරි ගස් මෙන් ස්ථිර යයි කියනු ලැබේ. 
එයින් එතුමන්ට ම මහිමය හිමි වන්නේ ය. 

4 ඔව්හු පැරණි නටබුන් ගොඩනඟති; 
නැති නාස්ති වූ තැන් අලුත්වැඩියා කරති; 
පරම්පරා ගණනාවක් තුළ නටබුන් ව පාළු ව තිබුණ නගර ප්‍රතිසංස්කරණය කරති.
5 විදේශිකයන් නුඹලාගේ බැටළු රැළවල් පෝෂණය කරනු ඇත. 
ඔව්හු නුඹලාගේ ගොවියෝ ද මිදි වතු වවන්නෝ ද වන්නෝ ය. 
6 එහෙත් නුඹලා, 'සමිඳුන්ගේ පූජකයෝ ය'යි කියනු ලබන්නහු ය. 
මිනිසුන් නුඹලාට, 'අපේ දේව සේවකයෝ ය'යි කියනු ඇත. 
නුඹලා ජාතීන්ගේ සම්පත් භුක්ති විඳ, ඔවුන්ගේ වස්තු හිමි කරගනු ඇත. 
7 නුඹලාගේ ලජ්ජාව වෙනුවට නුඹලා දෙගුණයක් ගෞරවය ලබන්නහු ය. 
නින්දාව වෙනුවට ලැබී ඇති කොටස ගැන ප්‍රීති වන්නහු ය. 
නුඹලාගේ දේශයෙහි නුඹලා දෙපංගුවක් භුක්ති විඳින්නහු ය. 
නුඹලාට සදා ප්‍රීතිය හිමි වන්නේ ය. 

8 සමිඳාණෝ මෙසේ වදාරන සේක: 
''මම යුක්තියට ප්‍රිය කරමි; අදමිටුකමටත්, කොල්ලකෑමටත් ද්වේෂ කරමි.
එබැවින් මම අවංක ලෙස ඔවුන්ට විපාක දෙමි. 
සදාකාල ගිවිසුමක් ද ඔවුන් සමඟ කරගන්නෙමි. 
9 ඔවුන්ගේ වංශය ජාතීන් අතරේ ද ඔවුන්ගේ පරම්පරාව ජනයන් අතර ද ප්‍රසිද්ධ වන්නේ ය.
ඔවුන් හැඳිනගන්න සියල්ලෝ ඔවුන් සමිඳුන්ගේ ආසිරි ලත් සෙනඟ බව දැනගන්නෝ ය.'' 
10 මම සමිඳුන් කෙරෙහි බොහෝ ප්‍රීති වන්නෙමි; 
මාගේ දෙවිඳුන් කෙරෙහි මම ප්‍රීතියෙන් පිනා යන්නෙමි. 
මනාලයෙකු මල් මාලාවක් දමාගන්නාක් මෙන් ද මනාලිය ඇගේ ආභරණ පැළඳගන්නාක් මෙන් ද එතුමාණෝ ගැළවීම නමැති වස්ත්‍රය මට පළඳවන සේක. ධර්මිෂ්ඨකම නමැති සළුව මට හඳවන සේක. 
11 පොළොව අලුත් පැළෑටි උපදවන්නාක් මෙන් ද උයන එහි වපුළ දේ ලියලවන්නාක් මෙන් ද මහෝත්තම සමිඳුන් වන දෙවිඳාණෝ ධර්මිෂ්ඨකම හා ප්‍රශංසාව සියලු ජාතීන් ඉදිරියෙහි හට ගන්වන සේක.


පිළිතුරු ගීය :සමිදුනි ඔබේ තිර පෙම ගැන මම සදහටම ගයන්නෙමි

1 සමිඳුනි, ඔබේ තිර පෙම ගැන මම සදහට ම ගයන්නෙමි. 

ඔබේ විශ්වාසවන්තකම පරපුරෙන් පරපුරට පවසන්නෙමි. 
2 ඔබේ තිර පෙම සදහට ම පවතින බව මම ඒකාන්තයෙන් ම පිළිගනිමි; 
ඔබේ විශ්වාසවන්තකම අහස මෙන් තිරසර බව මම දනිමි. 
3 ඔබ මෙසේ වදාළ සේක: 
''මා තෝරාගත් තැනැත්තා සමඟ මම ගිවිසුමක් කෙළෙමි;
මාගේ සේවක දාවිත්ට මම මෙසේ දිවුළෙමි: 
4 'මම ඔබේ පෙළපත සදහට ම පිහිටුවන්නෙමි. 
පරපුරෙන් පරපුරට ඔබේ සිහසුන ගොඩනඟන්නෙමි.' '' 
5 අහෝ සමිඳුනි! 
ඔබ කරන අසිරිමත් ක්‍රියා ගැන අහස් තලය ගී ගයන්නේ ය.
සුරලොව පිරිස් ඔබේ විශ්වාසවන්තකම ගැන ගීතිකා කරන්නෝ ය. 
6 සමිඳුන්ට සම කළ හැකි කිසිවෙක් අහස් තලයෙහි ඇද් ද? 
දෙවිවරුන් අතර සමිඳුන්ට සමාන වනුයේ කවරෙක් ද? 

සුවිශේෂය /ලූක් 10:1-9

1 ඉන්පසු සමිඳාණන් වහන්සේ තවත් cසැත්තෑ දෙනෙකු පත් කොට තමන් යන්න අදහස් කළ සියලු නගර හා පෙදෙස්වලට ඔවුන් දෙදෙනා බැගින් තමන්ට කලින් යැවූ සේක. 2 උන් වහන්සේ ඔවුන්ට මෙ‍සේ වදාළ සේක: ''ගොයම නම් බහුල ය. ගොවීහු විරල ය. එබැවින් ගොයම් කැපීමට මෙ‍හෙකරුවන් එවන මෙ‍න් ගොයමේ හිමියාණන්ට යාච්ඤා කරන්න. 3 ඉතින් යන්න. වගවලසුන් මැදට බැටළු පැටවුන් යවන්නාක් මෙ‍න් මම ඔබ යවමි. 4 පසුම්බියක් හෝ මල්ලක් හෝ පා වහන් හෝ නොගෙන යන්න. මඟ දී ආචාර කිරීම් සඳහා පමා නොවන්න. 5 ඔබ යම් ගෙදරකට ඇතුළු වූ කල, පළමුකොට 'මේ ගෙදරට සාමය වේ වා!'යි පතන්න. 6 සාමය ලබන්නට සුදුසු කෙනෙක් එහි සිටිත් නම් ඔබගේ සාම පැතුම ඔහු පිට රැඳෙනු ඇත. නැතහොත් එය ඔබ වෙත පෙරළා එනු ඇත. 7 ඔවුන් දෙන දෙය කමින් බොමින් ඒ ගෙදර ම නැවතී සිටින්න. මන්ද, මෙ‍හෙකරුවා සිය වේතනය ලැබිය යුතු ය; ගෙදරින් ගෙදරට නොයන්න. 8 ඔබ යම් නුවරකට ඇතුළු වූ කල ඔවුන් ඔබ පිළිගත්තොත්, ඔබ ඉදිරියෙහි තබන දේ වළඳන්න. 9 එහි සිටින රෝගීන් සුව කරන්න. 'දෙවියන් වහන්සේගේ රාජ්‍යය ඔබ වෙත පැමිණියේ ය'යි ඔවුන්ට ප්‍රකාශ කරන්න.

Comments