ජුනි 7, බ්‍රහස් - දිව්‍ය පූජාවේ කියවීම්


පළමු කියවීම / 2 තිමෝති 2:8-15

8 මාගේ සුබ අස්නේ තේමාව නම්; ''දාවිත්ගේ වංශයෙන් උපන්, මරණයෙන් උත්ථාන වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ය.'' 9 අපරාධකරුවෙකු මෙන් යදමින් බඳිනු ලැබ දුක් විඳින්නට මට සිදු වී තිබෙන්නේ ඒ නිසා ය. එහෙත් දේව වාක්‍යය, බැඳ තැබිය නොහැකි ය. 10 එබැවින් තෝරා ගත් අයට ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළින් වන ගැළවීමත්, ඒ සමඟ ම වූ සදාතන මහිමයත් ලැබෙන සේ ඔවුන් නිසා සියල්ල ඉවසමි. 11 පහත දැක්වෙන්නේ විශ්වාස කටයුතු කීමක් ය. 

     ''අපි උන් වහන්සේ සමඟ මැරෙමු නම්, අපි උන් වහන්සේ සමඟ ජීවත් වන්නෙමු; 
  12 අපි ස්ථිර ව සිටිමු නම්, උන් වහන්සේ සමඟ රජකම් කරන්නෙමු; 
     අපි උන් වහන්සේ ප්‍රතික්ෂේප කරමු නම්, උන් වහන්සේ අපත් ප්‍රතික්ෂේප කරන සේක. 
  13 අප අවිශ්වාසවන්ත වුවත්, උන් වහන්සේ විශ්වාසවන්ත ව, සිටින සේක. 
     මන්ද, උන් වහන්සේට තමන් ම ප්‍රතික්ෂේප කිරීම නොකළ හැකි ය.''


14 මේවා ඔවුන්ට මතක් කරමින්, වැඩක් නැති, අසන්නන්ට හානි ගෙන දෙන වචන ගැන විවාද නොකිරීමට දෙවියන් වහන්සේ ඉදිරියෙහි තරයේ අණ කරන්න. 15 ඔබත් සත්‍ය ධර්මය නියම ලෙස ප්‍රකාශ කරන්න, ලජ්ජා වීමට හේතුවක් නැති සේවකයෙකු ලෙස දෙවියන් වහන්සේට ප්‍රිය තැනැත්තෙකු මෙන් පෙනී සිටීමට උත්සාහ කරන්න.

පිළිතුරු ගීය :සමිදුනි ඔබේ මාවත් මට පැහැදිලි කල මැනව 

4 සමිඳුනි, ඔබේ ක්‍රියා මාර්ගය මට හෙළි කළ මැනව; 
ඔබේ මාවත් මට පැහැදිලි කළ මැනව. 
5 ඔබේ සත්‍යය අනුව මා ගෙන ගිය මැනව; 
මට එය ඉගැන්නුව මැනව; 
මන්ද, ඔබ මාගේ විමුක්තිදායක දෙවිඳාණෝ ය.
දවස පුරා ඔබ එන මඟ බලා සිටිමි. 


8 සමිඳාණෝ යහපත් ය; අවංක ය. 
එතුමාණෝ පවිටුන් හට යා යුතු මාර්ගය උගන්වන සේක. 
9 එතුමාණෝ නිහතමානී අය යුක්තියෙහි හසුරුවන සේක. 
එතුමාණෝ යටහත් පහත් අයට තම මාර්ගය උගන්වන සේක. 
10 හිමි තුමන්ගේ ගිවිසුම හා ශික්ෂා පද පිළිපදින අයට එතුමන්ගේ සියලු මාවත් කරුණාවේ හා සත්‍යයේ මාවත් වනු ඇත.


14 හිමි තුමන්ගේ රහස් සැලැස්ම එතුමාණන් කෙරේ ගරුබිය දක්වන අයට පෙන්වා ඇත; 
එතුමාණන් ස්වකීය ගිවිසුම ඔවුන්ට දන්වා ඇත. 


සුවිශේෂය :මාක් 12:28-34

28 විනයධරයන්ගෙන් කෙනෙක් පැමිණ, ඔවුන් එකතු වී උන් වහන්සේ සමඟ විවාද කරනු අසා, උන් වහන්සේ ඔවුන්ට මැනවින් පිළිතුරු දුන් බව ද දැක, ''සියලු ආඥා අතරෙන් ශ්‍රේෂ්ඨතම ආඥාව කිමෙක් දැ''යි උන් වහන්සේගෙන් ප්‍රශ්න කෙළේ ය. 29 ජේසුස් වහන්සේ උත්තර දෙමින්, ''ශ්‍රේෂ්ඨතම ආඥාව මේ ය: 'ඉශ්රායෙල් වැසියෙනි, අසන්න, අපේ ස්වාමින් වන දෙවියන් වහන්සේ එක ම සමිඳාණන් වහන්සේ ය. 30 නුඹේ මුළු හෘදයෙන් ද නුඹේ මුළු ආත්මයෙන් ද නුඹේ මුළු බුද්ධියෙන් ද නුඹේ මුළු වීර්යයෙන් ද නුඹේ දෙවි‍ ස්වාමීන් වහන්සේට ප්‍රේම කරන්න.' 31 දෙවැන්න මේ ය: 'නුඹ නුඹට ම ප්‍රේම කරන්නාක් මෙන්‍ නුඹේ අසල්වැසියාට ප්‍රේම කරන්න.' මෙයට වඩා ශ්‍රේෂ්ඨ අන් කිසි ආඥාවක් නැතැ''යි වදාළ සේක. 32 එවිට විනයධරයා උන් වහන්සේට පිළිතුරු දෙමින්, ''ගුරුදේවයෙනි, එය සැබෑ ය. 'උන් වහන්සේ එක ම තැනැන් වහන්සේ ය'යි ඔබ කීවා හරි ය. උන් වහන්සේ හැර අන් දෙවි‍ කෙනෙක් නැත. 33 මුළු හෘදයෙන් ද මුළු ආත්මයෙන් ද මුළු බුද්ධියෙන් ද මුළු වීර්යයෙන් ද උන් වහන්සේට ප්‍රේම කිරීම සහ තමාට මෙන්‍ ම තම අසල්වැසියාට ප්‍රේම කිරීම, දවන යාග පූජා හා වෙනත් පූජා සියල්ලට ම වඩා ශ්‍රේෂ්ඨය''යි කීවේ ය. 34 ඔහු කොතරම් තේරුම් පැහැදුම් ඇතුව පිළිතුරු දුන්නේ දැ යි ජේසුස් වහන්සේ දැක ''ඔබ දෙවියන් වහන්සේගේ රාජ්‍යයට නුදුරු ව සිටින්නෙහි ය''යි ඔහුට වදාළ සේක. ඉන්පසු උන් වහන්සේගෙන් කිසි ප්‍රශ්නයක් අසන්න කිසිවෙකුට ධෛර්යයක් නො වී ය.

Comments