ජේසු තුමන්ගේ දිවය හෘදයේ මංගල්‍යය


පළමු කියවීම /හොසියා 11:1,3-4,8-9

1 ''ඉශ්රායෙල් බාල වියේ දී මම ඔහුට ප්‍රේම කෙළෙමි; 
මා පුත් ඔහු මිසරයෙන් කැඳවාගතිමි. 

3 එප්‍රායිම් සෙනඟට ඇවිදින්නට ඉගැන්නුවේ මම ය. 
දෑතින් ඔවුන් වඩාගත්තේ මම ය. 
එහෙත්, මා ඔවුන් රැකබලාගත් බව ඔව්හු නොදැන සිටියෝ ය.
4 දයාවේ රැහැන්වලින් ද ප්‍රේමයේ බැමිවලින් ද මම ඔවුන්ට මඟ පෙන්නුවෙමි. 
ළදරුවෙකු ඔසවන සේ මම ඔවුන් මාගේ මුහුණට ඔසවාගතිමි; 
පහතට නැමී ඔවුන්ට කෑම කැව්වෙමි. 


8 ''එප්‍රායිම් ජනයෙනි, මම කෙසේ ඔබ පාවා දෙන්නෙම් ද? 
ඉශ්රායෙල්, ඔබ කෙසේ අත්හරිම් ද? 
මා අද්මා නුවරට කළාක් මෙන් මට ඔබටත් කළ හැකි ද?
ශෙබොයිම් නුවරට කළාක් මෙන් ඔබටත් කළ හැකි ද? 
එසේ කරන්නට මාගේ සිත ඉඩ නොදෙයි. 
ඒ ගැන සිතන විට මාගේ සිත කම්පා වෙයි. 
9 දැඩි කෝපයට මම ඉඩ නොදෙමි. 
මම නැවත එප්‍රායිම් විනාශ නොකරමි. 
මන්ද, මම මනුෂ්‍යයෙකු නොව දෙවියන් වහන්සේ වෙමි.
ඔබ සමඟ සිටින ශුද්ධ තැනැන් වහන්සේ මම ය, විනාශ කරන්නට මට ආශාවක් නැත. 
කෝපයෙන් මම ඔබ වෙත නොඑමි.


දෙවන කියවීම /එපිස 3:8-12,14-19

8 මන්ද, වරක් ඔබ අන්ධකාරයෙහි සිටිය නමුත්, දැන් සමිඳාණන් වහන්සේ තුළ ආලෝකයෙහි සිටින්නහු ය. 9 ආලෝකයට අයිති දරුවන් මෙන් හැසිරෙන්න. ආලෝකයේ ප්‍රතිඵල නම්, සියලු ආකාර යහපත්කමත්, දමිටුකමත්, සැබෑකමත් ය. 10 සමිඳාණන් වහන්සේට ප්‍රිය මනාප දේ කුමක් දැ යි විමසා බලන්න. 11 අන්ධකාරයේ නිෂ්ඵල ක්‍රියාවලට හවුල් නොවී, ඒවා එළිකරන්න. 12 සැබැවින් ම ඔවුන් රහසිගත ව කරන දේ ගැන කතා කිරීම පවා පිළිකුලකි.

14 එසේ එළි වන දේ ආලෝකය බවට හැරේ. එබැවින් මෙසේ කියා ඇත: 
''නිදා සිටින ඔබ අවදි වන්න, මරණින් නැඟිටින්න, එවිට ක්‍රිස්තුන් වහන්සේ ඔබගේ ආලෝකය වන සේක.'' 
15 එබැවින් ඔබ ජීවත් වන පිළිවෙළ ගැන ඉතා සැලකිලිමත් වන්න. අඥානයන් මෙන් නොව, ඥානවන්තයන් මෙන් ජීවත් වන්න. 16 කාලය නපුරු බැවින්, ඇති හැම අවස්ථාවකින් ම ප්‍රයෝජන ගන්න. 17 එබැවින් අනුවණයන් නොවී, සමිඳාණන් වහන්සේගේ කැමැත්ත කිමෙක් ද කියා තේරුම්ගන්න. 
18 මුද්‍රික පානයෙන් මත් නොවන්න. එයින් අනාචාරකම් හටගන්නේ ය. ඒ වෙනුවට ආත්මයාණන්ගෙන් පූර්ණ වන්න. 19 ගීතිකා, තුති ගී හා ශුද්ධ ගී එකිනෙකාට ගයන්න. ඔබ හදවත් තුළ තුති නද දෙමින් සමිඳුන්ට ගී ගයන්න.


සුවිශේෂය /ජොහන් 10:31-37


31 එය සබත් දිනට පෙර සූදානම් වීමේ දවස විය. ඒ සබත් දවස විශේෂ දිනයක් වූ බැවින් එදින ශරීර කුරුසිවල ම නොතිබෙන පිණිස, කුරුසියේ ඇණ ගැසූ අයගේ කකුල් කඩා ඔවුන් ඉවත් කරන මෙන් ජුදෙව්වරු පිලාත්ගෙන් ඉල්ලා සිටියහ. 32 එබැවින් හේවායෝ අවුත්, පළමුවැන්නාගේත්, එමෙන් ම ඔහු සමඟ ඇණගසන ලද දෙවැන්නාගේත් කකුල් කඩාදැමූ හ. 33 එහෙත් ඔව්හු ජේසුස් වහන්සේ ළඟට පැමිණි විට උන් වහන්සේ මිය ගොස් සිටින බව දැක, උන් වහන්සේගේ කකුල් නොකැඩූ හ. 

34 එහෙත්, හේවායන්ගෙන් කෙනෙක් හෙල්ලයකින් උන් වහන්සේගේ ඇලයට ඇන්නේ ය. එකෙණෙහි ම, ලේත් වතුරත් ගලා ආවේ ය. 35 එය දුටු තැනැත්තේ ඒ ගැන සාක්ෂි දරයි. ඔහුගේ සාක්ෂිය සැබෑ ම ය. ඔබත් විශ්වාස කරන පිණිස ඔහුගේ සාක්ෂිය සැබෑ බව ඔහු දනියි. 36 මේ දේවල් සිදු වූයේ, 'ඔහුගේ එක ඇටයක් වත් නොබිඳිනු ලැබේ ය'යි ලියා ඇති ශුද්ධ ලියවිලි පාඨය ඉෂ්ට වන පිණිස ය. 37 තවද: 'ඔවුන් ඇණ තුවාළ කළ තැනැත්තා දෙස, බලනු ඇතැ'යි තවත් ශුද්ධ ලියවිලි පාඨයක් ඇත.

Comments