පළමුකොට සහෝදරයා හා සමගි වී, පසුව අවුත් පඬුර පුදන්න.


පළමු කියවීම /1 රාජාවලිය 18:41-46

41 එලියා ආහබ්ට කතා කොට, ''හැරී ගොස් කන්න, බොන්න. මන්ද, මහා වර්ෂා හඬක් ඇසේ ය''යි කීවේ ය. 42 ආහබ් කන බොන පිණිස හැරී ගියේ ය. එලියා කර්මෙල්‍ කන්ද මුදුනට නැඟී, බිම වැටී දණහිස් දෙක අතරේ මුහුණ තබාගෙන, 43 ''ඔබ ගොස් මුහුද දෙස බලන්නැ''යි තම වැඩකාරයාට කී ය. ඔහු ගොස් බලා අවුත්, ''කිසිවක් නැතැ''යි කී විට, ''නැවත සත්වරක් යන්නැ''යි ඔහු කීවේ ය. 44 සත් වන වර ඔහු කතා කොට, ''මිනිසෙකුගේ අතක් වැනි කුඩා වලාකුළක් මුහුදින් නැඟී එන්නේ ය''යි කීවේ ය. ඔහු ද, '' 'වැස්ස ඔබ නොවළක්වන පිණිස ඔබේ රථය සූදානම් කරගෙන ගිය මැනව' කියා ඔබ ගොස් ආහබ්ට කියන්නැ''යි දැන්වී ය. 
45 ඉක්බිති මඳ වේලාවකින් අහස වලාකුළුවලින් ද සුළඟින් ද අඳුරු විය. මහත් වැස්සක් ද ඇති විය. ආහබ් රථයට නැඟී ජෙශ්‍රෙයෙල් නම් නගරයට ගියේ ය. 46 සමිඳාණන් වහන්සේගේ බලය එලියා පිට පැමිණි නිසා, ඔහු සිය ඉඟටිය වටා වූ වස්ත්‍රය අල්ලාගෙන ආහබ්ට පෙරටු ව ජෙශ්‍රෙයෙල් නගරයට ඇතුළු වන තැන දක්වා දිවී ය.

පිළිතුරු ගීය :සියෝන්හි දෙවිඳුනි ඔබට පැසසුම් වේවා 

9 ඔබ පොළොව දෙස බලා, එයට වැහි වස්වා, එය සරුසාර කරන සේක. 
අහස් ගඟ දිය දහරින් පිරී ඇත. 
ඔබ පොළොව මෙසේ පිළියෙළ කොට ධාන්‍ය සපයා දෙන සේක. 
10 එහි හීවිටි බොහෝ සේ දියෙන් පොඟවා පස් පිඬලි සමතලා කරන සේක. 
ඒ පිට බහුල ව වැසි වස්වා, පොළොව බුරුල් කර එහි වගාවට ආසිරි දෙන සේක. 
11 ඔබ වැසි වස්වා රට සරුසාර කරවන සේක; 
ඔබ සැරිසරන තැන සාරත්වය උතුරා යන්නේ ය. 
12 පාළුකරයේ තණ බිම සරුසාර වනු ඇත; 
කඳු හෙල් ප්‍රීතියෙන් උදම් අනනු ඇත. 

සුවිශේෂය /මතෙව් 5:20-26

20 මන්ද, ඔබ ධර්මිෂ්ඨකමින් විනයධරයන් ද පරිසිවරුන් ද ඉක්මවා නොගියොත්, ඔබ කිසි සේත් ස්වර්ග රාජ්‍යයට නොපිවිසෙන්නහු ය යි ඔබට කියමි.

''21 '' 'මිනී නොමරන්න; මිනී මරන කවරෙකු වුව ද විනිශ්චයට යටත් වනු ඇතැ'යි පැරැන්නන්ට කී බව ඔබ අසා ඇත. 22 එහෙත්, මම ඔබට කියමි, තමාගේ සහෝදරයා සමඟb කෝප වන කවරෙකු වුව ද ඔහු අධිකරණයට යටත් වනු ඇත. තමාගේ සහෝදරයාට 'මො‍්ඩයා' කියා ගරහන කවරෙකු වුව ද ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට යටත් වනු ඇත; 'ජඩයා' කියා ගරහන කවරෙකු වුව ද ඔහු නිරා ගින්නට ගොදුරු වනු ඇත. 23 එබැවින් ඔබ පූජාසනය වෙත පඬුරක් ගෙනෙන කල, ඔබේ සහෝදරයා ඔබට විරුද්ධ ව යම් කිසි අමනාපයක් ඇති ව සිටින බව එහි දී සිහි වී නම්, 24 පඬුර පූජාසනය ඉදිරියෙහි තබා ගොස්, පළමුකොට සහෝදරයා හා සමගි වී, පසුව අවුත් පඬුර පුදන්න. 

25 ''ඔබේ විරුද්ධකාරයා සමඟ උසාවියට යන කල, මඟ දී ම ඉක්මනින් ඔහු හා සමගි වන්න; නැත්නම් විරුද්ධකාරයා ඔබ නඩුකාරයාට භාර දෙන්නේ ය; නඩුකාරයා ඔබ උසාවියේ නිලධාරියාට භාර දෙන්නේ ය; ඔබ ද හිරගෙයි දමනු ලබන්නෙහි ය. 26 සැබැවින් ම මම ඔබට කියමි, අන්තිම සතයට ම දඩය ගෙවන තෙක් ඔබ කිසි සේත් එයින් පිට වී නොයන්නෙහි ය.''


Comments