සමිඳුන් කෙරේ බලා සිටින්න; ශක්තිමත් වන්න; ධෛර්යවත් වන්න; සමිඳුන් කෙරේ බලා සිටින්න.


පළමු කියවීම /1 රාජාවලිය 19:9,11-16

9 පසු ව ඔහු එහි ගුහාවකට ඇතුළු වී නවාතැන් ගත්තේ ය. සමිඳාණන් වහන්සේගේ පණිවුඩය ද ඔහු වෙත පැමිණියේ ය. උන් වහන්සේ ඔහුට කතා කොට,''එලියා, නුඹ මෙහි කුමක් කරන්නෙහි දැ''යි ඔහුගෙන් ඇසූ සේක. 


11 උන් වහන්සේ කතා කොට, ''පිටතට අවුත් කන්ද උඩ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සිටින්නැ''යි වදාළ සේක. එවිට සමිඳාණන් වහන්සේ ඒ ළඟින් ගිය සේක. උන් වහන්සේට පෙරටුවෙන් මහා බලවත් හුළඟක් කඳු දෙදරවා, පර්වත බිඳගෙන ගියේ ය. එහෙත්, සමිඳාණන් වහන්සේ සුළඟෙහි නොවූ සේක. සුළඟට පසු පොළෝ කම්පාවක් විය. එහෙත්, සමිඳාණන් වහන්සේ පොළෝ කම්පාවෙහි නොවූ සේක. 12 පොළෝ කම්පාවට පසු ගින්නක් විය. එහෙත්, සමිඳාණන් වහන්සේ ගින්නෙහි නොවූ සේක. ගින්නට පසු මඳ පවනක හඬක් විය. 


13 එලියා ඒ අසා තමාගේ මුහුණ සළුවෙන් වසාගෙන පිටතට ගොස් ගුහාවේ දොරකඩ සිටියේ ය. එවිට හඬක් ඔහු වෙත පැමිණ, ''එලියා නුඹ මෙහි කුමක් කරන්නෙහි දැ''යි ඇසී ය. 
14 ඔහු ද, ''මම සියලු බලැති දෙවි සමිඳාණන් වහන්සේ උදෙසා බොහෝ‍ උද්‍යෝගයෙන් සේවය කෙළෙමි. මන්ද, ඉශ්රායෙල් ජනයා ඔබේ ගිවිසුම අත්හැර, ඔබේ පූජාසන කඩාදමා, ඔබේ දිවැසිවරුන් කඩුවෙන් මැරුවෝ‍ ය. ඉතුරු ව සිටින්නේ මම පමණකි. ඔව්හු මාගේ ප්‍රාණයත් නැති කරන්නට සොයති''යි කීවේ ය. 

15 සමිඳාණන් වහන්සේ ඔහුට කතා කොට, ''යන්න, දමස්කයේ පාළුකර මාර්ගයෙන් ම ආපසු යන්න. ගොස් හසායෙල් සිරියාවේ රජකමට ආලේප කරන්න. 16 නිම්ෂිගේ පුත් ජේහු ඉශ්රායෙල්වරුන්ගේ රජු වශයෙන් ආලේප කරන්න. ආබෙල් මෙහොලාහී ෂාපාත්ගේ පුත් එලිෂා නුඹ වෙනුවට දිවැසිවරයෙකු ලෙස ආලේප කරන්න. 


පිළිතුරු ගීය :සමිදුනි ඔබ අභිමුවට අපි එන්නෙමු

7 හිමි තුමාණෙනි, මා හඬ නඟා කියන දෙයට සවන් දුන මැනව;
මට කරුණා කොට උත්තර දුන මැනව. 
8 ''මා අබිමුවට එන්නැ''යි ඔබ කියන කල, සමිඳුනි, ''ඔබ අබිමුවට එන්නෙමි''යි මාගේ සිතින් කීවෙමි.
9 මා කෙරෙන් ඔබේ මුහුණ සඟවා නොගත මැනව; 
උදහසින් ඔබ මෙහෙකරුවා බැහැර නොකළ මැනව. 
ඔබ මාගේ සරණ වන සේක. 

13 ''ජීවතුන් අතර සමිඳුන්ගේ යහපත්කම මට දක්නට ලැබේ ය''යි මම විශ්වාස කරමි. 

14 සමිඳුන් කෙරේ බලා සිටින්න; 
ශක්තිමත් වන්න; 
ධෛර්යවත් වන්න; 
සමිඳුන් කෙරේ බලා සිටින්න.


සුවිශේෂය /මතෙව් 5:27-32


27 '' ' කාමමිථ්‍යාචාරය නොකරන්නැ'යි කී බව ඔබ අසා ඇත. 28 එහෙත්, මම ඔබට කියමි, යමෙකු ස්ත්‍රියක දෙස කාමරාගයෙන් බැලූ කෙණෙහි ම ඔහු ඈ සමඟ සිතින් කාමමිථ්‍යාචාරය කර ඇත. 29 වරදට වැටීමට හේතුව ඔබේ දකුණැස නම්, එය උගුලා ඉවත ලන්න; මුළු ශරීරය නිරයෙහි හෙළනු ලැබීමට වඩා ඔබේ අවයවවලින් එකක් නැති වීම ඔබට යහපත. 
30 වරදට වැටීමට හේතුව ඔබේ දකුණත නම්, එය කපා දමන්න; මුළු ශරීරය නිරාගත වීමට වඩා ඔබේ අවයවවලින් එකක් නැති වීම ඔබට යහපත.

31 ''තවද, 'තමාගේ භාර්යාව දික්කසාද කරන කවරෙකු වුව ද ඇයට දික්කසාද සහතිකයක් දිය යුතු ය'යි කියා ඇත. 32 එහෙත්, මම ඔබට කියමි, වේශ්‍යාකම හැර අන් කරුණක් නිසා සිය භාර්යාව දික්කසාද කරන කවරෙකු වුව ද ඔහු ඇය කාමමිථ්‍යාචාරයට පමුණු වන්නේ ය. එසේ දික්කසාද කරනු ලැබූ ඇය විවාහ කරගන්න යමෙක් වේ ද, ඔහුත් කාමමිථ්‍යාචාරය කරන්නේ ය.''



Comments