ස්නාවක ජුවාම් තුමාගේ උපන් මංගල්‍යය


පළමු කියවීම /යෙසායා 49:1-6

1 මුහුදුබඩ වැසියෙනි, මාගේ බස් අසන්න. ඈත සිටින ජනයෙනි, මට සවන් දෙන්න.
මා උපදින්නත් පෙර මවුකුසෙහි සිටිය දී සමිඳාණෝ මා තෝරාගෙන එතුමන්ගේ සේවකයා වන පිණිස මා පත්කළ සේක.

2 එතුමාණෝ මාගේ වචන තියුණු කඩුවක් මෙන් කළ සේක.
සිය අතේ සෙවණැල්ලෙහි මා ආරක්ෂා කළ සේක.
එතුමාණෝ මා මුවහත් කළ ඊගසක් මෙන් කළ සේක.
සිය කොපුවේ මා සඟවා තැබූ සේක.
3 එතුමාණෝ කතා කොට, ''ඉශ්රායෙල්, නුඹ මාගේ සේවකයා ය, නුඹ මඟින් සෙනඟ මාගේ මහිමය ප්‍රකාශ කරනු ඇතැ''යි වදාළ සේක.

4 මම කතා කරමින්, ''මම නිකරුණේ වෙහෙසුණෙමි;
මාගේ මුළු ශක්තිය යෙදූ නමුත්, කිසිවක් අත්පත් කර නොගතිමි''යි කීවෙමි.
එසේ වුව ද, මාගේ විනිශ්චයය සමිඳුන් අතේ ඇති බවත්, මාගේ විපාකය දෙවිඳුන් අතේ ඇති බවත් මට සහතික ය.

5 මා උපදින්නටත් පෙර තමන්ගේ සෙනඟ ආපසු ගෙනෙන පිණිසත්, විසිර සිටින ඉශ්රායෙල් ජනයා, ජාකොබ්ගේ වංශය එක් රැස් කරන පිණිසත් සේවකයෙකු වශයෙන් සමිඳාණෝ මා පත් කළ සේක.
සමිඳාණෝ මට ගෞරවය දෙන සේක.
එතුමාණෝ මාගේ ශක්තිය වන සේක.
6 එතුමාණෝ මට මෙසේ වදාළ සේක:

''ඉතිරි ව සිටින ඉශ්රායෙල්වරුන් එනම්, ජාකොබ් වංශයේ ජනයා නැඟිටුවා පුනරුත්ථාපනය කිරීමට මාගේ සේවකයා ලෙස නුඹ පත් කිරීම සුළුපටු දෙයක් නොවනු ඇත.
එනම්, මුළු ලොව ගළවනු පිණිස සියලු ජාතීන් හට නුඹ ආලෝකයක් වන්න මම සලස්වන්නෙමි.''

පිළිතුරු ගීය :මාගේ පැවැත්මේ අසිරිය ගැන මම ඔබට තුති පුදමි

1 සමිඳුනි, ඔබ මා සියුම් ලෙස විමසා බලා දැනගත් සේක. 
2 මාගේ ඉඳුම් හිටුම් සියල්ල ඔබ දන්න සේක. 
දුර තියා ම මාගේ සිතිවිලි ඔබ තේරුම්ගන්න සේක. 
3 මා ගමනක් ගියත්, නින්දට ගියත් ඔබ මාගේ සියලු මාර්ග දන්න සේක.
මාගේ හැසිරීම සහමුලින් ම ඔබ දන්න සේක. 

13 ඔබ මාගේ ඇතුළාන්තය මැවූ සේක; 
මාගේ මවු කුසෙහි මා තැනූ සේක. 
14 මම ඔබට තුති පුදමි. 
මන්ද, මා ඔබට ගරුබිය දැක්විය යුතු ය. 
ඔබේ සියලු ක්‍රියා අසිරිමත් ය; 
ඔබ තරයේ මා දන්න සේක. 

15 මාගේ ඇටකටු සැදෙන විට, මවු කුසෙහි මා වැඩෙන විට, රහසිගත ව මා තැනෙන විට මා එහි වූ බව ඔබ දැන සිටි සේක.


දෙවන කියවීම /ක්‍රියා 13:22-26

22 උන් වහන්සේ ඔහු අස් කර, දාවිත් ඔවුන්ගේ රජු හැටියට පත් කළ සේක. උන් වහන්සේ ඔහු ගැන සාක්ෂි දෙමින්, 'ජෙස්සේගේ පුත්‍ර වූ, මට ප්‍රියමනාප මිනිසෙකු වූ, මාගේ මුළු කැමැත්ත ඉටු කරන්නෙකු වූ දාවිත් මම සොයාගතිමි'යි වදාළ සේක.

 23 දෙවියන් වහන්සේ පොරොන්දු දුන් ලෙස, ඔහුගේ පරපුරෙන් ඉශ්රායෙල් සෙනඟට ජේසුස් නම් ගැළවුම්කාරයෙකු දෙවා වදාළ සේක. 24 උන් වහන්සේගේ පැමිණීමට පෙර ජොහන් ඉශ්රායෙල්හි මුළු සෙනඟට පසුතැවී සිත් හරවා ගැනීමේ බව්තීස්ම-ස්නාපනය දේශනා කෙළේ ය. 

25 තවද ජොහන් සිය මෙහෙය නිම කරන විට, 'මම කවරෙක් කියා ඔබ සිතන්නෙහි ද? මම ඔබ සිතන තැනැත්තා නොවෙමි; මට පසුව කෙනෙක් එන සේක, උන් වහන්සේගේ පාවහන් මුදන්නට වත් මම නොවටිමි'යි කී ය. 
26 ''සහෝදරයෙනි, ආබ්‍රහම් වංශයේ පුත්‍රයෙනි, දේවභය ඇති සියල්ලෙනි, මේ ගැළවීමේ පණිවුඩය ඔබ සඳහා ය. 


සුවිශේෂය /ලූක් 1:57-66,80

57 නියම කාලය පැමිණි විට එලිසබෙත් තොමෝ පුත්‍රයෙකු ලැබුවා ය. 58 ඇගේ අසල්වැසියෝ ද නෑයෝ ද සමිඳාණන් වහන්සේ ඈ කෙරෙහි මහා දයානුකම්පාවක් දැක්වූ බැව් අසා ඇය සමඟ ප්‍රීති වූ හ. 

59 තවද, අට වන දා චර්මඡේදන පිළිවෙත පිණිස ඔව්හු දරුවා ගෙනැවිත් සිය පියාගේ නාමය අනුව ඔහුට සෙකරියස් යයි නම් තබන්නට සැරසුණහ. 60 එහෙත්, ඔහුගේ මව කතා කරමින්, ''එසේ නොවේ; ඔහුට ජොහන් යන නාමය තැබිය යුතු ය''යි කීවා ය.

 61 ''ඔබේ නෑයන් අතර ඒ නාමය ඇත්තෙක් නැතැ''යි ඔව්හු ඈට කී හ. 62 ඔහුගේ පියා ඔහුට කුමන නමක් තබන්න කැමැති දැ යි දැනගන්නා පිණිස ඔව්හු ඔහුට සංඥා කළහ. 63 ඔහු ලියන ලෑල්ලක් ඉල්ලාගෙන, ''ඔහුගේ නම ජොහන් ය''යි ලිවී ය. සියල්ලෝම මවිත වූ හ. 64 එකෙණෙහි ම ඔහුගේ කතා ශක්තිය ලැබිණි; ඔහු දෙවියන් වහන්සේ පසසමින් කතා කෙළේ ය. 

65 අසල්වැසි සියල්ලන් කෙරෙහි බිය පැමිණියේ ය. මෙ‍පවත් සියල්ල ජුදයේ කඳු රට පුරා පතළ විය. 66 ඒ ඇසූ හැම දෙන ම ඒ සියල්ල සිය සිත්හි තබාගෙන, ''ඉතින් මේ දරුවා කෙබඳු කෙනෙක් වන්නේ දැ''යි ඇසූ හ. මක්නිසා ද, සමිඳාණන් වහන්සේගේ හස්තය ඔහු කෙරෙහි විය.

80 දරුවා වැඩී, ආත්මානුභාවයෙන් බලවත් ව තමන් ඉශ්රායෙල්ට ප්‍රකාශවන දිනය දක්වා පාළුකරයෙහි සිටියේ ය.

Comments