සමිඳුනි, ඔබේ ශික්ෂා මාර්ගය මට ඉගැන්නුව මැනව.


පළමු කියවීම / 2 රාජාවලිය 22:8-13,23:1-3

8 නායක පූජක වන හිල්කියා ලේකම් වන ෂාපාන්ට කතා කොට, ''ව්‍යවස්ථා පොත සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි මට සම්බ විය'' කියා පොත ෂාපාන්ට දුන්නේ ය; ඔහු එය කියවී ය. 9 ලේකම් වන ෂාපාන් තෙම රජු ළඟට හැරී අවුත්, ''මාලිගාවෙහි තිබූ මුදල් ඔබේ සේවකයෝ රැගෙන සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි වැඩ කරවීමට පත් ව සිටින්නන් අතට දුන්නෝ ය''යි රජුට කී ය. 10 ලේකම් වන ෂාපාන් කතා කොට, ''පූජක වන හිල්කියා පොතක් මට දුන්නේ ය''යි රජුට දන්වා එය රජු ඉදිරියෙහි කියවී ය. 

11 රජු ඒ ව්‍යවස්ථා පොතේ වචන ඇසූ කල පුදුම වී, තමාගේ ඇඳුම් ඉරාගෙන, 12 පූජක හිල්කියාටත්, ෂාපාන්ගේ පුත් අහිකාම්ටත්, මීකායාගේ පුත් අක්බොර්ටත්, ලේකම් වන ෂාපාන්ටත්, රජුගේ සේවකයා වන අසායාටත් අණ කොට, 13 ''ඔබ ගොස් මේ සම්බ වූ පොතේ වචන මා උදෙසාත්, සෙනඟ උදෙසාත්, සියලු ජුදාවරුන් උදෙසාත් සමිඳාණන් වහන්සේගෙන් විචාරන්න. මන්ද, අප ගැන ලියා තිබෙන සියල්ලේ ප්‍රකාරයට කරන ලෙස අපේ පියවරුන් මේ පොතේ වචනවලට ඇහුම්කන් නුදුන් නිසා අප කෙරෙහි ඇවිළ තිබෙන සමිඳාණන් වහන්සේගේ උදහස ඉමහත් ය''යි කී ය.

1 එවිට රජ තෙම ජුදාහි ද ජෙරුසලමෙහි ද සියලු ප්‍රජා මූලිකයන් තමා ළඟට රැස් කරවාගෙන, 2 ජුදාහි සියලු වැසියන් ද ජෙරුසලමේ සියලු වැසියන් ද පූජකයන් ද දිවැසිවරයන් ද ලොකු කුඩා සියලු සෙනඟ ද සමඟ සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ගොස් උන් වහන්සේගේ මාලිගාවෙහි සම්බ වූ ගිවිසුම් පොතේ සියලු වචන ඔවුන් අසාගෙන සිටිද්දී කියවී ය. 3 තවද, රජ කුළුණ ළඟ සිට, ඒ පොතේ ලියා තිබූ ඒ ගිවිසුමේ වචන ඉෂ්ට කරන පිණිස සමිඳාණන් වහන්සේ අනුව යන ලෙසත්, උන් වහන්සේගේ ආඥා ද ශික්ෂා ද පණත් ද මුළු හෘදයෙන් හා මුළු සිතින් පිළිපදින ලෙසත් උන් වහන්සේ ඉදිරියෙහි ගිවිසුමක් කරගත්තේ ය. මුළු සෙනඟ ද ගිවිසුමට එකඟ වූ හ.


පිළිතුරු ගීය : සමිදුනි ,ඔබේ ශික්ෂා මාර්ගය අපට ඉගැන්නුව මැනව

33 සමිඳුනි, ඔබේ ශික්ෂා මාර්ගය මට ඉගැන්නුව මැනව.
එය දිවි හිමියෙන් මම පිළිපදින්නෙමි. 
34 මට මනා අවබෝධය දුන මැනව. 
එවිට ඔබේ ව්‍යවස්ථාව රක්ෂා කරන්නෙමි; 
එසේ ය, මාගේ මුළු සිතින් එය පිළිපදින්නෙමි. 

35 ඔබේ ශික්ෂා මාර්ගයෙහි මා කැඳවාගෙන යනු මැනව. 
මන්ද, එය මාගේ ප්‍රීතිය වේ. 
36 අයුතු ලාභයට නොව, ඔබේ ශික්ෂා පදවලට මාගේ සිත යොමු කළ මැනව.
37 නිසරු දේ නැරඹීමෙන් මාගේ නෙත් වැළකුව මැනව; 
ඔබේ වචනයෙන් මා ප්‍රාණවත් කළ මැනව. 

40 ඔබේ නියෝගයන්ට ආශා වීමි. 
ඔබේ දැහැමි බවෙහි මා ප්‍රාණවත් කළ මැනව.

සුවිශේෂය /මතෙව් 7:15-20

15 ''බොරු දිවැසිවරයන්ගෙන් පරෙස්සම් වන්න. පිටතින් බැටළු වෙස් ගෙන පැමිණියත්, ඔව්හු ඇතුළතින් රෞද්‍ර වෘකයෝ ය. 16 ඔවුන්ගේ ක්‍රියාවලින් ඔවුන් හඳුනාගත හැකි ය. 

මනුෂ්‍යයෝ කටු ගස්වලින් මිදි වත්, ගොකටුවලින් අත්තික්කා වත් නෙළා ගනිත් ද? 17 හොඳ ගස හොඳ පල දරයි; නරක ගස නරක පල දරයි. 18 හොඳ ගසේ නරක පල වත්, නරක ගසේ හොඳ පල වත් හටගන්නේ නැත. 19 හොඳ පල නොදරන සියලු ගස් කපා ගින්නට දමනු ලැබේ. 

20 ''මෙලෙස, ඔවුන්ගේ පලවලින් නුඹලා ඔවුන් හැඳින ගන්නහු ය.''

Comments