ශු .තෝමස් අපෝස්තුළු තුමන්ගේ මංගල්‍යය


පළමු කියවීම /එපිස 2:19-22

19 එබැවින් ඔබ තවත් විදේශිකයෝ වත්, ආගන්තුකයෝ වත් නොව, ශුද්ධ වන්තයන් සමඟ සහකාර පුරවැසියෝ ද දෙවියන් වහන්සේගේ පවුලේ දූදරුවෝ ද වෙති. 20 ඔබ ප්‍රේරිතයන්ගේ ද, දිවැසිවරයන්ගේ ද අත්තිවාරම පිට ඉදි කරනු ලැබ සිටින්නහු ය. එහි කොණේ ප්‍රධාන ගල නම් ක්‍රිස්තුන් වහන්සේ ම ය. 

21 උන් වහන්සේ තුළ මුළු ගොඩනැඟිල්ල ඒකාබද්ධ ව, සමිඳාණන් වහන්සේ තුළ ශුද්ධ මන්දිරයක් සේ වර්ධනය වන්නේ ය. 22 උන් වහන්සේ තුළ ඔබත්, ආත්මයාණන් වහන්සේ කරණකොටගෙන දෙවියන් වහන්සේගේ වාසස්ථානය සඳහා එක් කොට ගොඩනඟනු ලැබේ.


පිළිතුරු ගීය ; ලොව පුරා ගොස් සුභ අස්න දේශනා කරන්න

1 සකල ජාතීනි, සමිඳුන්ට ප්‍රශංසා කරන්න. 
සව් සතුනි, හිමි තුම ගුණ මහිමය වර්ණනා කරන්න. 
2 මන්ද, අප කෙරෙහි සමිඳුන්ගේ ප්‍රේමය ඉමහත් ය, 
එතුමන්ගේ විශ්වාසකම සදහට ම පවත්නේ ය. 
සමිඳුන්ට ප්‍රශංසා කරන්න.


සුවිශේෂය /ජොහන් 20:24-29

24 ජේසුස් වහන්සේ වැඩිය කල, දොළොස් දෙනාගෙන් එක් කෙනෙක් වූ 'නිවුන් දරුවා' යයි නම් ලත් තෝමස් ඔවුන් සමඟ නොසිටියේ ය. 25 එහෙයින් සෙසු ශ්‍රාවකයෝ, ''අපි සමිඳාණන් වහන්සේ දුටිමු''යි ඔහුට කී හ. එහෙත් ඔහු කතා කොට, ''උන් වහන්සේගේ අත්වල ඇණ කැළැල් දැක, ඇණ ගසා තිබූ තැන්වල මාගේ ඇඟිල්ල තබා, උන් වහන්සේගේ ඇලයෙහි මාගේ අත දමා බැලුවොත් මිස, නැත්නම් විශ්වාස නොකරමි''යි කී ය. 

26 අට දවසකට පසු උන් වහන්සේගේ ශ්‍රාවකයෝ නිවස තුළට වී සිටියෝ ය. තෝමස් ද ඔවුන් සමඟ සිටියේ ය. දොරවල් වසා තිබිණි. එහෙත්, ජේසුස් වහන්සේ පැමිණ, ඔවුන් මැද වැඩ සිට: ''ඔබට ශාන්තිය වේ වා!''යි වදාළ සේක. 27 ඉන්පසු උන් වහන්සේ තෝමස් අමතා, ''ඔබේ ඇඟිල්ල මෙහි බහා මාගේ අත් බලන්න; ඔබේ අත දිගු කර මාගේ ඇලයෙහි තබන්න. අවිශ්වාස නොකර විශ්වාස කරන්නැ''යි වදාළ සේක. 28 තෝමස් පිළිතුරු දෙමින්, ''මාගේ ස්වාමීනි, මාගේ දෙවියෙනි''යි උන් වහන්සේට කී ය. 29 එවිට ජේසුස් වහන්සේ, ''ඔබ මා දුටු බැවින් අදහාගත්තෙහි ය. නුදුටු නමුත් අදහන්නො‍් භාග්‍යවන්තයෝ ය''යි වදාළ සේක.





Comments