ජීවත් වන පිණිස නපුර නොව යහපත සොයන්න.


පළමු කියවීම /ආමෝස් 5:14-15,21-24

14 ජීවත් වන පිණිස නපුර නොව යහපත සොයන්න. එවිට ඔබ සමඟ සිටින සේකැ යි ඔබ කියන සියලු බලැති දෙවි සමිඳාණන් වහන්සේ ඇත්තෙන් ම ඔබ සමඟ සිටින සේක. 15 නපුරට ද්වේෂ කරන්න, යහපතට ප්‍රිය කරන්න, උසාවිය මඟින් යුක්තිය ඉටු කරවන්න. සමහරවිට, සියලු බලැති දෙවි සමිඳාණන් වහන්සේ මේ රටේ ඉතිරි ව සිටින ජනයාට කරුණා කරනු ඇත.

21 ''නුඹලාගේ මංගල්‍යවලට මම ද්වේෂ කරමි. ඒවා මට රුස්සන්නේ නැත. 22 නුඹලා දවන යාග පූජා ද ආහාර පූජා ද මට ඔප්පු කරන නමුත්, මම ඒවා නොපිළිගනිමි. සහභාගිකමේ පූජා වශයෙන් මට ඔප්පු කරන පිණිස නුඹලා තර කළ සතුන් මම නොපිළිගනිමි. 23 නුඹලාගේ ගීත ඝෝෂාව නතර කරන්න; නුඹලාගේ වීණා නාදයට මම සවන් නොදෙමි. 24 යුක්තිය ගලා බහින දිය දහරක් මෙන් ද ධර්මිෂ්ඨකම නොසිඳී ගලන ගඟක් මෙන් ද පැවතිය යුතු ය. 

පිළිතුරු ගීය : සමිදාණෝ ,යහමග යන හැම දෙනම ගලවන සේක

7 ''එම්බා මාගේ සෙනඟෙනි, සවන් දෙන්න. මම මෙය වදාරන්නෙමි. 
එම්බා ඉශ්රායෙල් ජනයෙනි, නුඹලාට විරුද්ධ ව මම සාක්ෂි දෙමි. 
මම දෙවිඳාණෝ ය; නුඹලාගේ දෙවිඳාණෝ ය.'' 

8 නුඹලාගේ පූජා ගැන වත්, නිරතුරු මා වෙත ගෙනෙන දවන යාග පූජාවන් ගැන වත් මම දොස් නොපවරමි.
9 එහෙත්, නුඹේ පට්ටිවලින් ගොනුන් වත්, නුඹේ ගාල්වලින් එළුවන් වත් මට වුවමනා නැත. 
10 වනයේ වසන සියලු සත්තු මාගේ ය; 
දහසක් කඳුවල වසන ගවයෝත් මාගේ ය; 
11 අහසේ සියලු කුරුල්ලෝ මාගේ ය; 
කෙත්වතුවල සියලු සත්තු මාගේ ය. 
12 ''මට කුසගිනි නම්, නුඹට දන්වන්නට වුවමනාවක් නැත;
ලොවත්, එහි ඇති සියලු දේත් මා සතු නොවේ ද? 
13 ගවමස් බුදීමට හෝ එළු ලේ පානය කිරීමට හෝ මට වුවමනාවක් ඇද් ද?

16 එහෙත්, දුදනා හට දෙවි තුමාණෝ මෙසේ වදාරන සේක:
''නුඹ මාගේ ආඥා කටපාඩමින් කියන්නේත්, 
මාගේ ගිවිසුම ගැන කතා කරන්නේත් කුමකට ද? 
17 මන්ද, නුඹ මාගේ අවවාදය නුරුස්සන්නෙහි ය; 
මාගේ වචනවලට පිටුපා යන්නෙහි ය. 

සුවිශේෂය /මතෙව් 8:28-34

28 උන් වහන්සේ එගොඩ ව, ගදරීන රටට පැමිණි කල, දුෂ්ටාත්මාවේශ වූ දෙදෙනෙක් සොහොන් ගෙවලින් නික්ම විත් උන් වහන්සේට මුණ ගැසුණාහ. ඔවුන් ඉතා දරුණු වූයෙන් ඒ පාරෙන් කිසිවෙකුට යන්න නොහැකි විය. 

29 ඔව්හු මොරගසමින්, ''දෙවියන් වහන්සේගේ පුත්‍රය, ඔබ හා අප අතර මොන ගනුදෙනුවක් ද? නියමිත මොහොතට පළමුවෙන් අපට වද දෙන පිණිස මෙහි ආ සේක් දැ''යි කී හ. 

30 ඈතින් මහා ඌරු රැළක් ගොදුරුකමින් සිටියහ. 31 දුෂ්ටාත්ම කතා කරමින්, ''ඔබ අප දුරු කරන සේක් නම්, ඌරු රැළට වැහෙන්නට අප හැරිය මැනවැ''යි උන් වහන්සේගෙන් අයැද සිටියහ. 32 ''පලයව්'' කියා උන් වහන්සේ ඔවුන්ට අණ කළ සේක. එවිට දුෂ්ටාත්ම පිට වී ගොස් ඌරන්ට වැහුණෝ ය. ඒ මුළු රැළ ප්‍රපාතයෙන් පහළ මුහුදට වේගයෙන් දිව ගොස් ජලයේ ගිලී මළෝ ය. 33 ඌරු ගොවුවෝ පලා ගොස් නුවරට පැමිණ ඒ සියල්ල ද දුෂ්ටාත්මාවේශ වූවන්ට සිදුවූ දේ ද පැවසූ හ. 

34 එකල ඒ මුළු නුවර වැසියෝ ජේසුස් වහන්සේ හමු වීමට අවුත්, උන් වහන්සේ දැක, තමන්ගේ පළාතෙන් පිට වී යන ලෙස උන් වහන්සේගෙන් බැගෑපත් ව ඉල්ලා සිටියහ.

Comments