වික්ශෝප දේව මාතාවන්ගේ මංගල්‍යය


පළමු කියවීම / හෙබ්‍රෙව් 5:7-9

7 ක්‍රිස්තුන් වහන්සේ මිනිසත්බව ගෙන සිටිය දී තමන් මරණයෙන් ගළවන්නට පිළිවන් වූ තැනැන් වහන්සේට බලවත් හැඬීමෙනුත් කඳුළු සැලීමෙනුත්, යාච්ඤා ද කන්නලවු ද ඔප්පු කළ සේක. උන් වහන්සේගේ දේව ගරුබිය නිසා, දෙවියන් වහන්සේ එයට සවන් දුන් සේක. 8 උන් වහන්සේ පුත්‍රයාණන් වූ නමුත්, තමන්ගේ දුක් විඳීමෙන් කීකරුකම ඉගෙනගත් සේක. 9 මෙසේ උන් වහන්සේ සම්පූර්ණත්වය ලැබ, තමන් වහන්සේට කීකරු වන සියල්ලන්ගේ සදාතන විමුක්තිදායකයාණෝ වූ සේක. 10 තවද මෙල්කිසදෙක් පූජක පරපුර අනුව, උත්තම පූජක නාමය ද දෙවියන් වහන්සේගෙන් ලත් සේක.

සුවිශේෂය /ජොහන් 19:25-27

25 ජේසුස් වහන්සේගේ මෑණියෝ ද මෑණියන්ගේ සහෝදරී වූ ක්ලෝපාස්ගේ භාර්යාව වූ මරියා ද මග්දලායේ මරියා ද උන් වහන්සේගේ කුරුසිය ළඟ සිටියෝ ය. 26 එකල ජේසුස් වහන්සේ සිය මෑණියන් ද තමා ප්‍රේම කළ ශ්‍රාවකයා ද ළඟ සිටිනු දැක, ''ස්ත්‍රිය, මෙන්න ඔබේ පුත්‍රයා ය''යි සිය මෑණියන් හට වදාළ සේක. 27 ඉන්පසු උන් වහන්සේ එම ශ්‍රාවකයාට කතා කොට, ''මෙන්න ඔබේ මෑණියෝ ය''යි වදාළ සේක. ඒ මොහොතේ සිට ඒ ශ්‍රාවකයා තම නිවසට ඇය පිළිගත්තේ ය.

Comments