යමෙකු හට බොහෝ දෙයකට කමා කරන්නේද ,ඔහු බොහෝ ලෙස ප්‍රේම කරන්නේය .


පළමු කියවීම - 1කොරින්ති 15:1-11

1 තවද, සහෝදරවරුනි, මා ඔබට දේශනා කළ සුබ අස්න වෙත ඔබගේ අවධානය දැන් යොමු කරනු කැමැත්තෙමි. ඔබ එය පිළිගත්තහු ය; එහි පිහිටා සිටින්නහු ය. 2 ඒ මඟින් ඔබ ගැළවීම ලබන්නහු ය. එසේ වන්නේ මා ඔබට දෙසූ ලෙස ම, ඒ සුබ අස්න නිසැක ව පිළිගෙන, එය නිෂ්ඵල නොවන ලෙස විශ්වාස කළොත් පමණකි. 
3 මා ඔබට බාර දුන්නේ මා ලබාගත් දෙය ම බව ප්‍රධාන කොට කිව යුතු ය. එනම් ශුද්ධ ලියවිල්ල ප්‍රකාර ක්‍රිස්තුන් වහන්සේ අපගේ පාප උදෙසා මළ බවත්, 4 වළලනු ලැබූ බවත්, ශුද්ධ ලියවිලි ප්‍රකාර තුන් වන දා උත්ථාන කරනු ලැබූ බවත්, 5 කේපස්ට හා පසුව දොළොස් දෙනාට දර්ශනය වූ බවත් ය. 6 ඉන්පසු උන් වහන්සේ පන් සියයකට වැඩි සහෝදර සමූහයකට එක විට ම දර්ශනය වූ සේක. මොවුන්ගෙන් සමහරුන් මියගිය ද, වැඩි දෙනා තවමත් ජීවත් ව සිටිති. 7 ඉන්පසු උන් වහන්සේ ජාකොබ්ට ද අනතුරුව සියලු ප්‍රේරිතයන්ට ද දර්ශනය වූ සේක.
8 අවසන් වශයෙන් අකලට උපන්නෙකු වැනි මට ද උන් වහන්සේ දර්ශනය වූ සේක. 9 මන්ද, මම ප්‍රේරිතවරයන්ගෙන් ඉතා සුළු තැනැත්තා ය. දෙවියන් වහන්සේගේ සභාවට පීඩා කළ බැවින් ප්‍රේරිතයෙකැ යි කියනු ලබන්නට වත් මම නොවටිමි. 10 එහෙත් මම යම් තත්ත්වයකට පැමිණ සිටිම් ද, එසේ පැමිණ සිටින්නේ දෙවියන් වහන්සේගේ වරප්‍රසාදයෙන් ය. උන් වහන්සේ මට දුන් වරප්‍රසාදය නිෂ්ඵල නො වී ය. ඇත්තට ම මම ඔවුන් සියල්ලන්ට ම වඩා බොහෝ සෙයින් වැඩ කෙළෙමි. එහෙත් එසේ කෙළේ මා නොව මා තුළ වූ දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය ය. 11 එබැවින් මා වේවා, ඔවුන් වේවා, අප දේශනා කරන්නේ එක ම පණිවුඩය යි. ඔබ එය අදහාගත්තහු ය.


සුවිශේෂය - ලූක් 7:36-50

36 එක් පරිසිවරයෙක් තමා සමඟ ආහාර වළඳන පිණිස ජේසුස් වහන්සේට ආරාධනා කෙළේ ය. උන් වහන්සේ පරිසිවරයාගේ ගෙදරට වැඩම කර, කෑමට හිඳගත් සේක. 37 ඒ නුවර විසූ පව්කාර ස්ත්‍රියක් උන් වහන්සේ පරිසිවරයාගේ ගෙදර කෑමට වැඩහුන් බව දැන, සුවඳ විලවුන් පිරුණු කිරිගරුඬ කරඬුවක් රැගෙන එතැනට ආවා ය. 38 ඈ උන් වහන්සේ පිටිපසින් පාමුල සිට හඬ හඬා, උන් වහන්සේගේ පාද කඳුළෙන් තෙමන්ට පටන්ගෙන, ඇගේ හිසකේවලින් පිසදමා, උන් වහන්සේගේ පාද සිඹ, සුවඳ විලේපනයෙන් ආලේප කළා ය. 39 උන් වහන්සේට ආරාධනා කළ පරිසිවරයා ඒ දැක: ''මොහු දිවැසිවරයෙක් නම් තමාගේ ඇඟට අත තබන මේ පව්කාර ස්ත්‍රිය කවර තැනැත්තියක් ද කෙබඳු අඟනක් ද කියා දැනගනු ඇතැ''යි සිය සිතින් සිතුවේ ය. 

40 ජේසුස් වහන්සේ උත්තර දෙමින්, ''සීමොන්, ඔබට කිය යුතු කරුණක් ඇතැ''යි වදාළ සේක. ඔහු ද, ''ගුරුදේවයෙනි, වදාළ මැනවැ''යි කී ය. 41 උන් වහන්සේ කතා කොට, ''මුදල් ණයට දෙන එක්තරා මිනිසෙකුට ණයකාරයෝ දෙදෙනෙක් සිටියහ. එක් කෙනෙක් රිදී කාසි පන් සියයක් ද, අනිත් තැනැත්තා පණසක් ද ණය ව සිටියෝ ය. 42 ණය ගෙවීමට ඔවුන්ට කිසි වත්කමක් නැති වූයෙන් ඔහු ඒ දෙදෙනාට ම කමා කෙළේ ය. එබැවින් ඒ දෙදෙනාගෙන් කවරෙක් ඔහුට වැඩියෙන් ප්‍රේම කරනු ඇද්දැ''යි ඇසූ සේක. 43 සීමොන් උත්තර දෙමින්, ''ඔහු, යමෙකුට වැඩියෙන් කමා වූයේ ද, ඒ තැනැත්තා යයි මම සිතමි''යි කී ය.
 එවිට උන් වහන්සේ, ''ඔබේ පිළිතුර හරි ය''යි ඔහුට කියා, 44 ස්ත්‍රිය දෙසට හැරී, සීමොන්ට කතා කොට, ''මේ ස්ත්‍රිය ඔබට පෙනෙනවා නොවේ ද? මම ඔබේ ගෙදරට ඇතුළු වුණෙමි, ඔබ මාගේ පාද සේදීමට වතුර නුදුන්නෙහි ය. එහෙත් මෑ සිය කඳුලින් මාගේ පාද තෙමා සිය හිසකේවලින් ඒවා පිසදැමුවා ය. 45 ඔබ මා සිම්බේ නැත. එහෙත්, මෑ මා ආවේලේ පටන් මාගේ පාද සිඹීම නතර නොකළා ය. 46 ඔබ මාගේ හිස තෙලින් ආලේප නොකෙළෙහි ය. එහෙත්, මෑ මාගේ පාද සුවඳ විලේපනයෙන් ආලේප කළා ය.
 47 එබැවින් මම ඔබට කියමි, ඇගේ බොහෝ වූ පව් ඇයට කමා කරන ලද බව ඈ මට දැක් වූ ඇගේ ඉමහත් ප්‍රේමයෙන් ඔප්පු වේ. එහෙත්, යමෙකුට ස්වල්ප වශයෙන් කමා කරනු ඇද්ද, ඔහු ස්වල්ප වශයෙන් ප්‍රේමය දක්වනු ඇතැ''යි වදාළ සේක. 48 එවිට උන් වහන්සේ, ''ඔබේ පව් ඔබට කමා කරන ලදැ''යි ඇයට වදාළ සේක. 49 උන් වහන්සේ සමඟ කෑමට සිටි අය, ''පව් කමාව පවා දෙන මොහු කවරෙක් දැ''යි තම තමන් අතර විමසූ හ. 

50 එහෙත් උන් වහන්සේ, ''ඔබේ ඇදහිල්ල ඔබට ගැළවීම ගෙන දුන්නේ ය, ශාන්ති සිතින් යන්නැ''යි ඒ ස්ත්‍රියට වදාළ සේක.


Comments