ශු : මතෙව් තුමන්ගේ මංගල්‍යය
පලමු කියවීම /එපිස 4:1-7,11-13
1 එබැවින්, දෙවියන් වහන්සේගෙන් ඔබ ලත් කැඳවීමට ඔබින ලෙස හැසිරෙන මෙන් සමිඳාණන් වහන්සේ උදෙසා හිරකාරයෙකු වන මම ඔබෙන් උදක් ම ඉල්ලමි. 2 සැම විට ම නිහතමානි ව, විනීත ව, ඉවසිලිවන්ත ව සිටින්න; ප්‍රේමයෙන් එකිනෙකා සමඟ පෑහී සිටින්න; 3 ආත්මයාණන් වහන්සේගෙන් වන එක්සත්කම, සමඟිකමේ බැම්මෙන් පවත්වාගන්ට උත්සාහ කරන්න.
4 ඔබ කැඳවනු ලැබූ කල එක ම බලාපොරොත්තුවකට කැඳවනු ලැබූ ලෙස, ඇත්තේ එක ම ශරීරයත්, එක ම ආත්මයාණන් වහන්සේත් ය; 5 එක ම සමිඳාණන් වහන්සේත්, එක ම ඇදහිල්ලත්, එක ම බව්තීස්ම-ස්නාපනයත් ය;
6 සියල්ලන්ට ඉහළින් සිටින, සියල්ලන් තුළින් ක්‍රියා කරන, සියල්ලන් තුළ වැඩවසන එක ම දෙවි පියාණන් වහන්සේත් ය.
7 එහෙත් ක්‍රිස්තුන් වහන්සේ සිය දීමනාවේ ප්‍රමාණය අනුව අප එකිනෙකාට දේව වරප්‍රසාදය ප්‍රදානය කර ඇත. 8 ඒ ගැන මෙසේ කියා තිබේ:
පිළිතුරු ගීය :සමිදුන්ගේ වචන ලොව පුරා පැතිර යන්නේය .
1 අහස් තලය දෙවි මහිමය ප්‍රකාශ කරන්නේ ය;
ගුවන් තලය එතුමන්ගේ අත්කම් විදහා පාන්නේ ය.
2 එක් දිනක් තව දිනකට මෙපුවත කියන්නේ ය;
එක් රැයක් තව රැයකට එය ම පවසන්නේ ය.
3 කතාවක්, වදනක්, කිසියම් හඬක් ඇසෙන්නේ නැති වුව ද ඒ පණිවුඩය ලොව පුරා පැතිරී යන්නේ ය.
සුවිශේෂය /මතෙව් 9:9-13
9 ජේසුස් වහන්සේ එතැනින් යද්දී රේගු පොළේ හුන් මතෙව් නම් මිනිසෙකු දැක, ''මා අනුව එන්නැ''යි ඔහුට වදාළ සේක. ඔහු නැඟිට උන් වහන්සේ අනුව ගියේ ය.
10 තවද, ජේසුස් වහන්සේ ඔහුගේ නිවෙසහි වැඩහුන් කල, බොහෝ අයකැමියෝ ද පව්කාරයෝ ද අවුත් උන් වහන්සේ සහ ශ්‍රාවකයන් සමඟ හිඳගත්හ. 11 පරිසිවරු ඒ දැක, ''ඔබේ ඇදුරු තුමා අයකැමියන් ද පව්කාරයන් ද සමඟ කෑම කන්නේ මන්දැ''යි උන් වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් ඇසූ හ. 12 උන් වහන්සේ ඒ අසා ඔවුන්ට කතා කොට, ''රෝගීන්ට මිස නිරෝගීන්ට වෙදෙකුගෙන් වැඩක් නැත. 13 'මම යාග පූජාවට නොව, දයාවට කැමැත්තෙමි'යි යන කීමේ අර්ථය ඔබ ගොස් තේරුම්ගන්න. මා ආයේ දමිටුන් නොව පවිටුන් කැඳවීමට ය''යි වදාළ සේක.
Comments
Post a Comment