මැයි 24,දිව්‍ය පුජාවට නියමිත කියවීම් සඳහා පිවිසෙන්න


පළමු කියවීම /ක්‍රියා 15:22-31

22 එකල තමන් අතරෙන් නියෝජිතයන් තෝරාගෙන, ඔවුන් පාවුලු සහ බාර්ණබස් සමඟ අන්තියෝකියට යැවීම යහපතැ යි ප්‍රේරිතයන්ට ද සභා මූලිකයන්ට ද මුළු සභාවට ද පෙනී ගියේ ය. තෝරාගනු ලැබුවෝ නම්, සහෝදරයන් අතර මූලිකයන් වන බර්සබස් නම් ලත් ජූදස් සහ සීලස් ය. 23 ඔවුන් අත මෙසේ ලියා යවන ලදී: 
''ප්‍රේරිතවරයෝ ද සහෝදර සභා මූලිකයෝ ද වන අපි අන්තියෝකියෙහිත් සිරියාවෙහිත් සිලිසියාවෙහිත් වසන විජාතී වූ සහෝදරයන් වෙත සුබ පතමින් මෙසේ ලියා එවමු: 24 අපේ අනුමැතිය නොලත් සමහරෙකු අප අතරෙන් පිටත් ව ගොස්, නොයෙක් දේ කියා ඔබ කළඹමින් ඔබගේ සිත් අවුල් කළ බව අපි ඇසීමු. 25-26 එහෙයින් තමන්ගේ දිවි නොතකා, අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නාමය නිසා, ජීවිත කැප කළ අපගේ ප්‍රේමණීය බාර්ණබස් ද පාවුලු ද සමඟ, නියෝජිතයන් තෝරා ගෙන ඔබ වෙතට එවීම සුදුසු යයි රැස් වූ අපගේ ඒකමතික තීරණය විය. 27 එහෙයින් ජූදස් ද සීලස් ද ඔබ වෙත එවමු. ඔවුන් මේ කාරණා ම ඔබට කට වචනයෙන් ද කියනු ඇත. 28-29 එනම්, දේව පිළිමවලට පිදූ දෙයින් ද ලෙයින් ද බොටුව මිරිකා මැරූ සතුන් කෑමෙන් ද කාමමිථ්‍යාචාරයෙන් ද ඔබ වැළකිය යුතු බව මිස, වෙන කිසි බරක් ඔබ පිට නොතැබීම යහපතැ යි ශුද්ධාත්මයාණන්ටත් අපටත් පෙනී ගියේ ය. ඔබ මේවායින් වළකින්නහු නම් යහපති. ඔබට සෙත් වේ වා!'' 
30 මෙසේ යවනු ලැබූ ඔව්හු, අන්තියෝකියට පැමිණ, සමූහයා රැස් කරවා ලිපිය භාර දුන්හ. 31 සමූහයා එය කියවා, ඒ අනුශාසනාව ගැන ප්‍රීති වූ හ. 

පිළිතුරු ගීය :අහෝ සමිදුනි ,ජනතාව අතර මම ඔබ පසසමි

7 දෙවිඳුනි! 
මට අචල විශ්වාසයක් ඇත්තේ ය.
මම ගී ගයා ඔබ පසසමි. 
8 මාගේ හදවත, අවදි වන්න! 
එම්බා! 
කුඩා වීණාව, මහා වීණාව, පිබිදෙන්න! 
එවිට මම උදාහිරු අවදි කරන්නෙමි. 

9 සමිඳුනි! 
මම ජනතාව අතර ඔබ පසසමි;
විජාතීන් අතර මම ඔබට ගී ගයමි. 
10 ඔබේ කරුණාව සගලොව දක්වා නඟින්නේ ය. 
ඔබේ සත්‍යවාදිකම අහස උසට නැඟී ඇත්තේ ය. 

11 දෙවිඳුනි, අහසට වඩා ඔබේ ශ්‍රේෂ්ඨත්වය උසස් බව දැක්වුව මැනව.
ඔබේ මහිමාලංකාරය ලොව පුරා පැතිරේ වා!


සුවිශේෂය /ජොහන් 15:12-17

12 ''මාගේ ආඥාව නම්: 'මා ඔබට ප්‍රේම කළාක් මෙන් ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න' යනුයි. 13 යමෙකු තමාගේ මිතුරන් උදෙසා දිවි පිදීමට වඩා උතුම් ප්‍රේමයක් කිසිවෙකුට නැත. 
14 මා ඔබට අණ කරන දේ ඔබ කරන්නහු නම්, ඔබ මාගේ මිතුරෝ ය. 15 මෙතැන් පටන් මම ඔබට දාසයෝ යයි නොකියමි; මන්ද, දාසයෙක් තමාගේ ස්වාමියා කරන්නේ කුමක් දැ යි නොදනියි. එහෙත්, මාගේ පියාණන් වහන්සේගෙන් මා ඇසූ සියල්ල ම ඔබට දන්වා වදාළ බැවින්, මම ඔබට මිත්‍රයෝ යයි කීවෙමි. 

16 ඔබ මා තෝරාගත්තේ නැත. මම ඔබ තෝරාගෙන පත් කෙළෙමි. එසේ කෙළේ ඔබ ගොස් බොහෝ පල දරන පිණිසත්, ඔබේ පල පවතින පිණිසත්, මාගේ නාමයෙන් ඔබ පියාණන් වහන්සේගෙන් ඉල්ලන කවර දෙයක් වුව ද උන් වහන්සේ ඔබට දෙන පිණිසත් ය. 17 මා ඔබට අණ කරන දේ මේ ය: එකිනෙකාට ප්‍රේම කරන්න.''



Comments