සමිඳුනි ,ඔබ අතට මාගේ ජීවිතය භාර කරමි



පළමු කියවීම /ක්‍රියා 7:51-8:1

51 ''හිතුවක්කාර, මිසදිටු සිත් හා බිහිරි කන් ඇත්තෙනි, ඔබගේ පියවරුන් මෙන් ඔබත් නිතර ම ශුද්ධාත්මයාණන්ට එරෙහි ව සිටින්නහු ය. 52 ඔබගේ පියවරුන් පීඩා නොකළ දිවැසිවරයෙක් ඇද් ද? ඔව්හු ධාර්මිකයාණන්ගේ ආගමනය කල්තියා දැන්වූ අය මරාදැමූ හ. දැන් ඔබ ඒ ධාර්මිකයාණන් පාවා දී මරාදමා ඇත. 53 දේව දූතයන් විසින් දෙන ලද ව්‍යවස්ථා ඔබ ලැබූ නමුත් ඒවා නොපිළිපැද්දහු ය.''

54 ඔව්හු ඒ අසා, ඔහුට විරුද්ධ ව කෝපයෙන් දිළිහී දත්මිටි කෑහ. 55 එහෙත් ඔහු ශුද්ධාත්මයෙන් පූර්ණ ව, ස්වර්ගයට බැල්ම හෙළා, දෙවියන් වහන්සේගේ තේජශ්‍රීයත් උන් වහන්සේගේ දකුණු පැත්තේ ජේසුස් වහන්සේ නැඟිට සිටිනවාත් දැක, 56 ''අන්න, ස්වර්ගය විවර වී ඇත, මනුෂ්‍ය-පුත්‍රයාණන් දෙවියන් වහන්සේගේ දකුණු පස නැඟිට සිටිනවා මට පෙනේ ය''යි කී ය. 57 එහෙත් ඔව්හු මහත් ශබ්දයෙන් මොරහඬගසා, තමන්ගේ කන් වසා ගෙන, එක සිතින් ඔහු පිටට කඩා පැන, 58 ඔහු නුවරින් පිටතට ඇද ඔහුට ගල් ගැසූ හ. සාක්ෂිකාරයෝ තමන්ගේ ඇඳුම් සාවුල් නම් යෞවනයෙකුගේ පාමුල තැබූ හ. 59 ''ජේසුස් ස්වාමීන් වහන්ස, මාගේ ආත්මය පිළිගත මැනවැ''යි කියා ස්තේපන් යාච්ඤා කරද්දී ඔව්හු ඔහුට ගල් ගැසූ හ. 60 ඔහු දණින් වැටී, ''සමිඳාණන් වහන්ස, මේ පාපය ඔවුන් පිට නොතැබුව මැනවැ''යි මහත් හඬින් මොරගසා කී ය. මෙසේ කියා ඔහු සැතපුණේ ය.

1 ඔහු මරාදැමීම ගැන සාවුල් ද සතුට ප්‍රකාශ කෙළේ ය. ඒ දවසේ දී ජෙරුසලමෙහි වූ සභාවට විරුද්ධ ව දරුණු පීඩාවක් හට ගත්තේ ය. එවිට ප්‍රේරිතයන් හැර, සෙසු සියල්ලෝ ජුදයේ සහ සමාරියේ පළාත්වල විසුරුවනු ලැබූ හ. 


පිළිතුරු ගීය :සමිඳුනි ,ඔබ අතට මාගේ ජීවිතය භාර කරමි

මට බලගතු විමුක්ති පර්වතයක් ද ආරක්ෂක බලකොටුවක් ද වුව මැනව.
3 ඔබ මාගේ පර්වතය හා බලකොටුව ය. 
එබැවින් ඔබේ නාමයේ අනුහසින් මට මඟපෙන්වා මා ගෙන ගිය මැනව.

5 ඔබ අතට මාගේ ජීවිතය භාර කරමි. 
සත්‍යවාදී දෙවි සමිඳුනි, ඔබ මා මිදූ සේක. 
6 බොරු දෙවි දේවතාවන් නමදින අයට මම ද්වේෂ කරමි. 
එහෙත්, මම සමිඳුන් කෙරේ විශ්වාසය තබමි. 

7 ඔබේ කරුණාව ගැන සතුටු වී උදන් අනමි. 
ඔබ මාගේ දුක් පීඩා දුටු සේක; 
ඔබ මාගේ සිත් වේදනා තේරුම් ගත් සේක. 
16 ඔබ මෙහෙකරු වන මා දෙස කරුණාවෙන් බැලුව මැනව; 

ඔබේ තිර පෙමින් මා ගැළෙවුව මැනව. 
20 මිනිසුන්ගේ කුමන්ත්‍රණවලින් ඔබ ආරක්ෂාවෙහි ඔබ ඔවුන් සඟවන සේක; 
කලහකාරි අයගෙන් ඔවුන් වෙන් කොට ඔබේ මැදුරෙහි සුරැකි ව තබන සේක. 

සුවිශේෂය /ජොහන් 6:30-35

30 එවිට ඔව්හු, ''එසේ නම්, අප විසින් දැක අදහාගන්නා පිණිස ඔබ කවර හාස්කමක් දක්වන සේක් ද? කවර ක්‍රියාවක් කරන සේක් ද? 31 අපේ පියවරු පාළුකරයෙහි දී මන්නා කෑහ. 'බුදින පිණිස එතුමො‍් ඔවුන්ට ස්වර්ගයෙන් ආහාර සැපයූහ'යි ලියා ඇතැ''යි උන් වහන්සේට කී හ. 
32 එවිට ජේසුස් වහන්සේ, ''ඒකාන්තයෙන් මම ඔබට කියමි, ස්වර්ගයෙන් ඔබට ආහාරය දුන්නේ මෝසෙස් නොවේ; ස්වර්ගයෙන් සැබෑ ආහාරය දෙන්නේ මාගේ පියාණන් වහන්සේ ය. 33 මන්ද, දෙවියන් වහන්සේ දෙන ආහාරය වනාහි, ස්වර්ගයෙන් පහළ වී ලෝකයට ජීවනය දෙන ආහාර ය''යි වදාළ සේක. 34 ඔව්හු ද, ''ස්වාමීනි, ඒ ආහාරය නිතර ම අපට දුන මැනවැ''යි කී හ. 
35 ජේසුස් වහන්සේ කතා කොට, ''ජීවනදායක ආහාරය මම ය, මා වෙත පැමිණෙන යමෙක් වේ ද, ඔහුට සාගිනි නොවන්නේ ය. මා අදහන යමෙක් වේ ද, ඔහුට කිසි කලෙකත් පිපාසය නොවන්නේ ය. 

Comments