ජුනි 03,සඳුදා දිව්‍ය පුජාවේ කියවීම්

Image result for jesus the lord

පළමු කියවීම /ක්‍රියා 19:1-8

1 තවද අපොල්ලොස් කොරින්තියෙහි සිටිය දී, පාවුලු ඉහළ පළාත් මැදින් ගමන් කොට, එපීසයට පැමිණියේ ය. එහි දී ඔහුට සමහර ශ්‍රාවකයෝ හමු වූ හ. 2 පාවුලු ඔවුන් අමතා: ''ඔබ අදහා ගත් කල ශුද්ධාත්මයාණන් වහන්සේ ලැබුවහු දැ''යි ඔවුන්ගෙන් ඇසී ය. ඔව්හු, ''නැත, ශුද්ධාත්මයාණන් වහන්සේ ඇති බවක් වත් නොඇසීමු''යි කී හ. 3 ''එසේ වී නම්, ඔබ කුමන බව්තීස්ම-ස්නාපනයක් ලැබුවහු දැ''යි ඔහු ඇසී ය. ''ජොහන්ගේ බව්තීස්ම-ස්නාපනය''යි ඔව්හු කී හ. 

4 පාවුලු කතා කොට, ''ජොහන් පසුතැවී සිත් හරවා ගැනීමේ බව්තීස්ම-ස්නාපනයෙන් බව්තීස්ම-ස්නාපනය කොට සෙනඟට කතා කරමින්, තමන්ට පසු ව එන තැනැන් වහන්සේ කෙරෙහි, එනම් ජේසුස් වහන්සේ කෙරෙහි අදහාගන්නා ලෙස සෙනඟට කී ය''යි පැවසී ය. 5 ඔව්හු ඒ අසා ස්වාමීන් වන ජේසුස් වහන්සේගේ නාමයෙන් බව්තීස්ම-ස්නාපනය කරනු ලැබූ හ. 6 පාවුලු ඔවුන් පිට අත් තැබූ කල ශුද්ධාත්මයාණන් වහන්සේ ඔවුන් කෙරෙහි පැමිණි සේක. ඔව්හු අන්‍ය භාෂාවලින් කතා කරමින් දිවැස් වැකි පැවසූ හ. 7 ඒ මනුෂ්‍යයෝ දොළොස් දෙනෙක් පමණ වූ හ. 

8 පාවුලු ධර්මශාලාවට ඇතුළු වී තුන් මසක් අතරතුරේ දෙවියන් වහන්සේගේ රාජ්‍යය ගැන නිර්භීත ලෙස තර්ක කරමින් ද සිත් දිනාගැනීමට උත්සාහ කරමින් ද සාකච්ඡා කෙළේ ය.

පිළිතුරු ගීය :මුළු ලොවෙහි රාජ්‍යයෙනි ,දෙවිදුන් හට ගායනා කරන්න


සුවිශේෂය /ජොහන් 16:29-33

29 උන් වහන්සේගේ ශ්‍රාවකයෝ කතා කොට, ''ආ, දැන් ඔබ උපමා මඟින් නොව, පැහැදිලි ලෙස කතා කරන සේක. 30 ඔබ සියල්ල දන්නා බව ද කිසිවෙකු ඔබගෙන් ප්‍රශ්න අසන්න නුවුවමනා බව ද දැන් අපි දනිමු. මෙයින්, ඔබ දෙවියන් වහන්සේ කෙරෙන් පැමිණි බව අපි විශ්වාස කරමු''යි කී හ. 

31 ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, ''ඔබ දැන් විශ්වාස කරන්නහු ද? 32 ඒ කෙසේ වෙතත් ඔබ මා තනි කරදමා, තම තමන්ගේ තැන්වලට විසුරුවනු ලබන පැය පැමිණෙන්නේ ය; දැනටමත් එය පැමිණ තිබේ. එසේ වුවත් පියාණන් වහන්සේ මා සමඟ සිටින බැවින් මම තනි නොවෙමි. 

33 මේ දේවල් මා ඔබට කීවේ මා තුළ ඔබට ශාන්තිය ඇති වන පිණිස ය. ලෝකයෙහි ඔබට දුක්ගැහැට තිබේ. එහෙත් ධෛර්යවත් වන්න; මම ලෝකය අභිබවා ජයගතිමි''යි වදාළ සේක.

Comments