ජුනි 22,දිව්‍ය පුජාවේ කියවීම් සඳහා මෙතැනින් පිවිසෙන්න


පළමුවන කියවීම /2 කොරි 12:1-10

1 පාරට්ටු කරගැනීමෙන් වැඩක් නැති වුවත් මට එසේ නොකර ඉන්න බැරි ය. එහෙත් සමිඳාණන් වහන්සේගෙන් මා ලත් දර්ශන හා එළිදරව් කිරීම් ගැන කතා කරමි. 2 දසසතර වසරකට පෙර, තුන් වන ස්වර්ගය දක්වා ඔසවාගනු ලැබූ කිතුනුවෙකු මම දනිමි. එසේ වූයේ ශරීරයෙන් යුක්ත ව ද, නොහොත් ශරීරයෙන් වියුක්ත ව දැ යි මම නොදනිමි. දෙවියන් වහන්සේ දන්නා සේක. 3 ඒ මිනිසා පාරාදීසයට ඔසවාගනු ලැබ, මිනිස් මුවින් නොපැවසිය යුතු, නොපැවසිය හැකි වචන ඇසූ බව දනිමි. 4 එසේ වූයේ ශරීරය ඇති ව ද ශරීරය නැති ව දැ යි මම නොදනිමි. දෙවියන් වහන්සේ දන්නා සේක. 5 එබඳු මිනිසෙකු ගැන මම පාරට්ටු කරමි. එහෙත් මාගේ ම දුර්වලකම් ගැන මිස, මා ගැන ම පාරට්ටු කර නොගනිමි. 6 පාරට්ටු කරගන්න මා අදහස් කළත්, මා ඇත්ත පවසන නිසා එසේ කිරීම අනුවණ කමක් නොවේ. එහෙත්, මා කරන දේ දැකීමෙන් ද මා ගැන ඇසීමෙන් ද යමෙකුට ඇති වන අදහසට වඩා උසස් අදහසක් මා ගැන ඇති නොවන පිණිස මම එයින් වැළකෙමි. 

7 ඒ එළිදරව් කිරීම්වල අති උතුම්කම කරණකොටගෙන, මා හිස උදුම්මා නොගන්නා පිණිස, මට පහර දීමට සාතන්ගේ දූතයෙකු වැනි, ශරීරයේ කාවැදුණු කටුවක් හා සමාන පීඩාවක් මට දෙන ලද්දේ ය. එසේ වූයේ මා හිස උදුම්මා නොගන්නා පිණිස ය. 8 එය ඉවත් කරන මෙන් තුන් වරක් මම සමිඳාණන් වහන්සේගෙන් ඉල්ලුවෙමි. 9 උන් වහන්සේ පිළිතුරු දෙමින්, ''මාගේ බලය පරිපූර්ණ වන්නේ දුර්වලකමේ දී බැවින්, මාගේ වරප්‍රසාදය ඔබට සෑහේ''යයි වදාළ සේක. එබැවින් ක්‍රිස්තුන් වහන්සේගේ ශක්තිය මා කෙරෙහි පිහිටන පිණිස, මාගේ දුර්වලකම් ගැන ඉතා සන්තෝෂයෙන් පාරට්ටු කරන්නෙමි. 10 එහෙයින් ක්‍රිස්තුන් වහන්සේ උදෙසා පැමිණෙන දුර්වලකම් ද අන්තරා ද අගහිඟකම් ද පීඩා ද විපත්ති ද මම සතුටින් පිළිගනිමි. මක්නිසා ද යත්, දුර්වල ව සිටිය දී ම මම ශක්තිසම්පන්න ව සිටිමි.

පිලිතුරු ගීය: හිමි තුමන් ගුණවත් බව අපි අත්  දකිමු 

සුවිශේෂය / මතෙව් 6:24-34

24 ''ස්වාමිවරුන් දෙදෙනෙකුට මෙහෙවර කිරීමට කිසිවෙකුට නුපුළුවන. මන්ද, ඔහු එක් කෙනෙකුට වෛර බැඳ අනික් අයට ප්‍රේම වන්නේ ය. නැතහොත්, එක් කෙනෙකුට ළැදි වී, අනික් අය හෙළා දක්නේ ය. දෙවියන් වහන්සේට සහ වස්තුවට සේවය කරන්න ඔබට නොහැකි ය.''

25 ''එහෙයින් මම ඔබට කියමි: කුමක් කමු ද, කුමක් බොමු ද කියා ජීවිතය ගැන වත්, කුමක් අඳිමු ද කියා ශරීරය ගැන වත් කරදර නොවන්න. කෑමට වඩා ජීවිතය ද, ඇඳුමට වඩා ශරීරය ද අගනේ නොවේ ද? 26 අහසේ කුරුල්ලන් දෙස බලන්න. උන් වපුරන්නේ වත්, කපන්නේ වත්, අටුවල රැස්කරන්නේ වත් නැත. එහෙත්, ඔබේ ස්වර්ගීය පියාණන් වහන්සේ උන් පෝෂණය කරන සේක. ඔබ ඔවුන්ට වඩා බොහෝ වටිනවා නොවේ ද? 27 කරදර වීමනේ තමාගේ dආයු ප්‍රමාණය දික් කරගන්න ඔබ අතරෙන් කවරෙකුට පුළුවන් ද? 

28 ''ඔබ ඇඳුම් ගැන කරදර වන්නේ කුමට ද? කෙතේ මානෙල් වැඩෙන හැටි කල්පනා කරන්න; ඒවා වෙහෙසෙන්නේ වත්, නූල් කටින්නේ වත් නැත. 29 එහෙත්, සියලු රාජ තේජසින් විරාජ මාන වූ සලමොන් වුව ද, මේ මල්වලින් එකක් සේ සැරසී නොසිටියේ යයි ඔබට කියමි. 30 ඇදහිල්ල හීන තැනැත්තෙනි! අද තිබී හෙට උදුනේ දැවීයන කෙතේ තණ කොළ දෙවියන් වහන්සේ එසේ සරසන සේක් නම්, ඊට කොපමණ වැඩියෙන් උන් වහන්සේ ඔබ නොසරසන සේක් ද? 31 එහෙයින් කුමක් කමු ද, කුමක් බොමු ද, කුමක් අඳිමු ද කියමින් කරදර නොවන්න. 32 විජාතීන් සෑම විට ම සොයන්නේත් මේවා ම ය; මේවා ඔබට ඕනෑ බව ඔබේ ස්වර්ගීය පියාණන් වහන්සේ දන්නා සේක. 33 එහෙත්, පළමු කොට උන් වහන්සේගේ රාජ්‍යය ද ධර්මිෂ්ඨකම ද සොයන්න; එවිට මේ සියල්ලත් ඔබට දෙනු ලැබේ. 34 එබැවින් හෙට දවස ගැන කරදර නොවන්න. හෙට දවසේ කරදර හෙට දවසට සෑහේ. එක දවසක කරදරවලට තව කරදර එකතු නොකරන්න.''

Comments