ජුනි 7,දිව්‍ය පුජාවේ කියවීම් සඳහා මෙතැනින් පිවිසෙන්න



පළමු කියවීම /ක්‍රියා 25:13-21

13 කීප දවසකට පසු අග්‍රිපා රජ ද බර්නිස් ද ෆෙස්තුස්ට ආචාර කරන පිණිස කායිසාරියට පැමිණිය හ. 

14 ඔවුන් බොහෝ දවස් එහි නැවතී සිටිය දී ෆෙස්තුස් පාවුලු පිළිබඳ කාරණය රජුට දන්වමින්, ''ෆීලික්ස් නිදහස් නොකර ගිය එක් සිරකරුවෙක් මෙහි සිටියි. 15 මා ජෙරුසලමට ගිය විට නායක පූජකයෝ ද ජුදෙව්වන්ගේ සභා මූලිකයෝ ද ඔහු ගැන මට චෝදනා කරමින්, ඔහු වරදකරුවෙකැ යි තීන්දු කරන ලෙස මගෙන් ඉල්ලූ හ. 16 මම ඔවුන්ට පිළිතුරු දෙමින්, 'පැමිණිලිකරුවන් ඉදිරියෙහි තම චෝදනා ගැන උත්තර දීම හා තම නිදහසට කරුණු ඉදිරිපත් කිරීමක් නැති ව, කිසි ම වරදකරුවෙකු පාවා දීම රෝමවරුන්ගේ සම්ප්‍රදායයක් නොවේ ය'යි කීවෙමි. 17 එහෙයින් ඔවුන් මෙහි රැස් වූ කල මම නොපමා ව පසුදා විනිශ්චයාසනයෙහි හිඳ ඒ මිනිසා ගෙනෙන්නට අණ කෙළෙමි. 18 එහෙත් ඔහුගේ පැමිණිලිකරුවෝ, මා සිතූ අන්දමේ කිසි වරදක් ඔහු පිට නොතැබූ හ. 

19 ඔහුට විරුද්ධ ව ඔවුන් ඉදිරිපත් කෙළේ තම ආගම ගැනත්, ජේසුස් නම් මළගිය කෙනෙකු යළි ජීවත් ව සිටිති යි යන පාවුලුගේ කීම ගැනත් විවාද සමහරක් පමණකි. 20 මේ දේවල් ගැන විභාග කරන්නේ කෙසේ දැ යි සිතින් වියවුල් වූ මම, ජෙරුසලමට ගොස්, එහි දී මේ කාරණා ගැන විනිශ්චය කරනු ලබන්නට කැමැති දැ යි ඔහුගෙන් ඇසුවෙමි. 21 එහෙත් අධිරාජයාගේ තීරණයට නඩුව ඉදිරිපත් කරන මෙන් පාවුලු ඉල්ලූ විට, ඔහු සීසර් අධිරාජයා ළඟට යන තුරු රැකවලෙහි තැබීමට මම අණ කෙළෙමි''යි කී ය.

පිළිතුරු ගීය :සමිදාණෝ සිය සිහසුන සග ලොවෙහි පිහිටෙවු සේක

සුවිශේෂය /ජෝහන් 21:15-19

15 මෙසේ ඔවුන් ආහාර වැළඳූ පසු ජේසුස් වහන්සේ සීමොන් පේදුරුට කතා කොට, ''ජොහන්ගේ පුත්‍ර වූ සීමොන්, මොවුන්ට වඩා ඔබ මට ප්‍රේම කරන්නෙහි දැ''යි ඇසූ සේක. ඔහු, ''එසේ ය ස්වාමීනි, මා ඔබට ප්‍රේම කරන බව ඔබ දන්නා සේකැ''යි පිළිතුරු දුන්නේ ය. උන් වහන්සේ, ''මාගේ බැටළු පැටවුන් පෝෂණය කරන්නැ''යි ඔහුට වදාළ සේක. 
16 නැවත දෙ වන වරටත්, ''ජොහන්ගේ පුත්‍ර වූ සීමොන් ඔබ මට ප්‍රේම කරන්නෙහි දැ''යි ඔහුගෙන් ඇසූ සේක. ඔහු, ''එසේ ය, ස්වාමීනි, මා ඔබට ප්‍රේම කරන බව ඔබ දන්නා සේකැ''යි පිළිතුරු දුන්නේ ය. උන් වහන්සේ ද, ''මාගේ බැටළුවන්ගේ එඬේරා වන්නැ''යි වදාළ සේක. 

17 උන් වහන්සේ තුන් වන වරටත් ඔහුට කතා කොට, ''ජොහන්ගේ පුත්‍ර වූ සීමොන්, ඔබ මට ප්‍රේම කරන්නෙහි දැ''යි ඔහුගෙන් ඇසූ සේක. තුන් වන වරටත්, 'මට ප්‍රේම කරන්නෙහි දැ'යි ජේසුස් වහන්සේ තමාගෙන් ඇසූ බැවින් පේදුරු ශෝක වී: ''ස්වාමීනි, ඔබ සියල්ල දන්නා සේක; මා ඔබ වහන්සේට ප්‍රේම කරන බව ඔබ වහන්සේ දන්නා සේකැ''යි කී ය. ''මාගේ බැටළුවන් පෝෂණය කරන්නැ''යි ජේසුස් වහන්සේ ඔහුට වදාළ සේක. 

18 ''ඒකාන්තයෙන් මම ඔබට කියමි, ඔබ තරුණ වියෙහි ඔබේ ඉඟටිය බැඳගෙන කැමැති කැමැති තැන්වල ඇවිද්දෙහි ය. එහෙත් ඔබ මහලු වූ කල ඔබේ අත් දිගු කරන්නෙහි ය, වෙන කෙනෙකු ඔබේ ඉඟටිය බැඳ, ඔබ කැමැති නැති තැනකට ගෙනයනු ඇතැ''යි වදාළ සේක. 19 ඔහු කෙබඳු මරණයකින් දෙවියන් වහන්සේ ගෞරවයට පමුණුවනු ඇද්දැ යි හඟවනු වස් උන් වහන්සේ මෙසේ වදාළ සේක. 

ඉක්බිති ''මා අනුව එන්නැ''යි නැවතත් ඔහුට කී සේක.

Comments