අගෝ 29, ඉරිදා

 අගෝ 29, ඉරිදා 

පළමු කියවීම : ද්වි .නීති .සං 4:1-2,6-8

අපේ දෙවි සමිඳාණන් වහන්සේගෙන් අප අයැදින සියල්ලෙහි දී, උන් වහන්සේ අපට ළං ව සිටින්නාක් මෙන් වෙන කිනම් ශ්‍රේෂ්ඨ ජාතියකට දෙවි කෙනෙක් ළං ව සිටින්නේ ද?

1 මෝසෙස් ඉශ්රායෙල්වරුන්ට කතා කොට මෙසේ කී ය: ”ඔබේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දෙන්නට යන දේශයට ඇතුළු වී, එය අයිති කරගෙන, එහි ජීවත් වන පිණිස, ඔබ විසින් ඉටු කළ යුතු, මා ඔබට උගන්වන නීති හා නියෝගයන්ට, ඉශ්රායෙල්වරුනි, දැන් ඉතින් සවන් දෙන්න. 2 මා ඔබට අණ කළ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ නීති හා නියෝගවලට අමතර වචනයක් එකතු නොකර, ඒවායින් කිසිවක් අඩු නොකර, ඔබ ඒවා පිළිපැදිය යුතු ය. 

ඒවා ආරක්ෂා කරමින් පිළිපදින්න. මෙසේ කිරීමෙන් සෙසු ජාතීන් ඉදිරියෙහි ඔබේ පැණවත්කමත්, නැණවත්කමත් කැපී පෙනෙනු ඇත. මේ නීති සියල්ල ගැන ඔවුන්ට සැළ වන විට, ‘මේ ශ්‍රේෂ්ඨ ජාතියට අයිති සෙනඟ කෙතරම් පැණවත් ද නැණවත් ද’ කියා ඔවුන් විස්මපත් වනු ඇත. 
7 ”අපේ දෙවි සමිඳාණන් වහන්සේගෙන් අප අයැදින සියල්ලෙහි දී, උන් වහන්සේ අපට ළං ව සිටින්නාක් මෙන් වෙන කිනම් ශ්‍රේෂ්ඨ ජාතියකට දෙවි කෙනෙක් ළං ව සිටින්නේ ද? 8 මා අද දින ඔබ ඉදිරියෙහි තැබූ මේ සියලු නීති මෙන් සාධාරණ නීති හා නියෝග වෙන කිනම් ශ්‍රේෂ්ඨ ජාතියක් සතු ව පවතී ද?


අගෝ 29, ඉරිදා 

පිළිතුරු ගීය : සමිදුනි දැහැමියා ඔබ අභියෙස සිටින්නේය 

1 සමිඳුනි, ඔබේ දෙව් මැදුරෙහි කවරෙකුට සිටිය හැක්කේ ද?
ඔබේ ශුද්ධ කන්දේ කවරෙකුට විසිය හැක්කේ ද?
2 නිදොස් ලෙස කල් යවන, දැහැමි ලෙස වැඩ කරන, අවංක වදන් පවසන තැනැත්තාට ය.

3 ගතු කේළාම් නොකියන, මිතුරාට නපුර නොකරන, අසල්වැසියාට එරෙහි ව කට කතා නොපතුරන තැනැත්තාට ය.
4 ඔහු දුදනන් පිළිකුල් කරන්නේ ය.

සමිඳුන්ට ගරු කරන අයට ඔහු ගරුසරු පා, වාසි අවාසි නොතකා, සිය පොරොන්දු ඉටු කරයි.
5 ඔහු මුදල් පොළියට නොදෙයි;
නිදොස් අයට විරුද්ධ ව අල්ලස් නොගන්නේ ය.
මෙවන් ගුණැති මිනිසා හට පිරිහීමක් කිසි කලක නොවන්නේ ය.


අගෝ 29, ඉරිදා 

දෙවන කියවීම :ජාකොබ් 1:17-17,21-22,27

දහම් පණිවුඩය අසන්නන් පමණක් නොවී, එය පිළිපදින්නෝ වන්න.

17 සෑම යහපත් දීමනා ද සියලු අගනා ත්‍යාග ද නොවෙනස් වන සුලු, පහ ව යන බවට ඡායා මාත්‍රයකුදු නැති ආලෝකයේ පියාණන් වහන්සේ කෙරෙන් ඉහළින් බැස එන්නේ ය. 18 උන් වහන්සේ මැවූ සත්ත්වයන් අතර අප මුදුන් මල්කඩ වීමේ පෙර ලකුණු වශයෙන්, සිය අරමුණ අනුව උන් වහන්සේ සත්‍ය වචනයෙන් අප ජනිත කළ සේක.

 21 එහෙයින් සියලු අධම දෙය ද දමනය කළ නොහැකි දුෂ්ටකම ද ඉවත ලා ඔබට ගැළවීම සාදා දිය හැකි, ඔබ සිත් සතන්හි මුල් බැසගත් දහම් පණිවුඩය යටහත් ලෙස පිළිගන්න.
22 එහෙත්, තමන් ම රවටා නොගෙන දහම් පණිවුඩය අසන්නන් පමණක් නොවී, එය පිළිපදින්නෝ වන්න.

 අපගේ පියාණන් වන දෙවියන් වහන්සේ ඉදිරියෙහි පිරිසිදු නිර්මල භක්තිය නම්, මව්පියන් නැති දරුවන්ට ද වැන්දඹුවන්ට ද ඔවුන්ගේ විපත්තිවල දී පිහිට වීමත්, ලෝකයෙන් තමා ම කිළුටු නොවී ආරක්ෂා වීමත් ය.


අගෝ 29, ඉරිදා 

සුවිශේෂය :මාක් 7:1-8,14-15,21-23

පිටතින් මිනිසා තුළට පිවිස ඔහු කෙලෙසිය හැකි, කිසි දෙයක් නැත. මිනිසා තුළින් නික්මෙන දෙයින් ඔහු කෙලෙසනු ලබයි; 

1 තවද, ජෙරුසලමෙන් පරිසිවරු ඇතැම් විනයධරයන් හා සමඟ උන් වහන්සේ වෙතට පැමිණ, 2 උන් වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් සමහරුන්, අපවිත්‍ර අත්වලින්, එනම්, වත්පිළිවෙත් අනුව අත් නොසෝදා, කෑම කනවා දුටුවෝ ය. 3 පරිසිවරුත්, සියලු ජුදෙව්වරුත් පරම්පරාගත සම්ප්‍රදායයන් පිළිපදින බැවින් වත්පිළිවෙත් අනුව අත් සෝදාගෙන මිස කෑම නොකන්නෝ ය. 4 වෙළඳ පොළේ සිට ආ විට, ධෝවනය නිමවා මිස, ඔව්හු කෑමට නොයති. ඔවුන් පිළිපැදීමට බැඳී සිටින තවත් බොහෝ සම්ප්‍රදායයන් ඇත. එනම්, පිඟන්, කළගෙඩි සහ ලෝකඩ හැළිවළං සේදීම ය. 5 පරිසිවරු ද විනයධරයෝ ද උන් වහන්සේ අමතා, ”ඔබේ ශ්‍රාවකයන් පරම්පරාගත සම්ප්‍රදාය අනුව නොහැසිර, වත්පිළිවෙත් අනුව අත් නොසෝදා කෑම කන්නේ මන්දැ”යි ඇසූ හ. 6 උන් වහන්සේ පිළිතුරු දෙමින්, ”කෛරාටිකයෙනි, ශුද්ධ ලියවිල්ලේ ලියා ඇති ලෙස, ඔබ ගැන යෙසායා කී මේ දිවැස් වැකිය මැනවින් ඔබට ගැළපේ:
‘මුවින් මේ සෙනඟ මට ගරු කරති;
සිතින් නම් මගෙන් දුරු ව සිටිති.
7 මිනිස් ඔවා, දෙව් දහම් ලෙස උගන්වා නිසරු ලෙස මා නමදිති.’
8 ඔබ දෙවියන් වහන්සේගේ ආඥාව ඉවත ලා, මනුෂ්‍යයන්ගේ සම්ප්‍රදායයන් පිළිපදින්නහු ය”යි වදාළ සේක.

14 උන් වහන්සේ යළිත් සමූහයා තමන් වෙතට කැඳවා, ”ඔබ හැම මට සවන් දී තේරුම්ගන්න. 15 පිටතින් මිනිසා තුළට පිවිස ඔහු කෙලෙසිය හැකි, කිසි දෙයක් නැත. මිනිසා තුළින් නික්මෙන දෙයින් ඔහු කෙලෙසනු ලබයි; 

21 ඇතුළතින්, එනම්, මිනිස් හදවතින්, නපුරු චේතනා, කාම රාග, සොරකම්, මිනී මැරුම්, 22 සල්ලාලකම්, තණ්හා, දුෂ්ටකම්, වංචා, හිරි ඔතප් නැති බව, ඊර්ෂ්‍යාව, අපහාසය, අහංකාරය සහ මෝහය නික්මෙයි. 23 මෙකී සියලු නපුරු දේ ඇතුළතින් නික්ම ඒවායින් මිනිසා කෙලෙසනු ලැබේ ය”යි වදාළ සේක.

Comments