ඔබේ පියාණන් වහන්සේ දයානුකම්පා ඇති ව සිටින්නාක් මෙ‍න් ම ඔබ ද දයානුකම්පා ඇති ව සිටින්න.




පලමු කියවිම : තොලෝස්සි 3:12-17

12 එබැවින් දෙවියන් වහන්සේගේ තෝරාගත්, සැදැහැවත්, ප්‍රේමවන්ත අය වශයෙන්, දයානුකම්පාවෙන් ද කරුණාවෙන් ද නිහතමානිකමෙන් ද මෘදුකමෙන් ද ඉවසිලිවන්තකමෙන් ද සැරසී සිටින්න.
13 එකිනෙකා ගැන ඉවසමින් යමෙකුට විරුද්ධ ව පැමිණිල්ලක් ඇත්නම්, එකිනෙකාට කමා කරන්න. සමිඳාණන් වහන්සේ ඔබට කමා කළාක් මෙන් ඔබත් එකිනෙකාට කමා කළ යුතු ය.

14 මේ සියල්ලට ඉහළින්, සියල්ල සම්පූර්ණ ලෙස ඒකාබද්ධ කරන ප්‍රේමයෙන් සැරසෙන්න.
15 ක්‍රිස්තුන් වහන්සේගේ සාමය ඔබේ සිත් තුළ රජකම් කෙරේ වා! එක ම ශරීරයේ කොටස් වශයෙන් ඔබ කැඳවන ලද්දේ මේ සඳහා ය. කෘතඥතාව ද දක්වන්න.
16 ක්‍රිස්තුන් වහන්සේගේ දහම් පණිවුඩය ඔබ තුළ සියලු ප්‍රඥාවෙන් සමෘද්ධ ව පවතීවා. එකිනෙකාට ඥානවන්ත ලෙස අවවාදානුශාසනා කරන්න. ගීතිකාවලින් ද ගායනාවලින් ද ශුද්ධ ගීවලින් ද සිතෙහි ස්තුතිවන්තකමින් ද දෙවියන් වහන්සේට ගායනා කරන්න.
17 තවද, ඔබ වචනයෙන් හෝ ක්‍රියාවෙන් හෝ කුමක් කරතත්, ඒ සියල්ල ජේසුස් ස්වාමීන් වහන්සේගේ නාමයෙන් කරමින් උන් වහන්සේ තුළින් දෙවි පියාණන් වහන්සේට ස්තුති කරන්න.


පිලිතුරැ ගීය :ජීවමාන සියල්ලෝ සමිදුන් පසසත්වා

1 සමිඳුන් පසසන්න. 
දෙවිඳුන්ගේ ශුද්ධ ස්ථානයෙහි දී එතුමන් පසසන්න. 
එතුමන්ගේ බලය පවත්නා අහස් තලයෙහි එතුමන් පසසන්න.
2 එතුමන්ගේ බලවත් ක්‍රියා නිසා එතුමන් පසසන්න. 
එතුමන්ගේ ලොවුතුරා මහිමතාව නිසා එතුමන් පසසන්න.

3 හොරණෑ නාදයෙන් එතුමන් පසසන්න. 
කුඩා වීණාවෙන් හා මහා වීණාවෙන් එතුමන් පසසන්න.
4 රඟපාමින් හා කිකිණි රබානෙන් එතුමන් පසසන්න. 
වීණාවෙන් හා නළාවෙන් එතුමන් පසසන්න.
5 හඬැති අත්තලින් ද උස් නද දෙන අත්තලින් ද එතුමන් පසසන්න.
 6 ජීවමාන සියල්ලෝ සමිඳුන් පසසත් වා! 
සමිඳුන්ට ප්‍රශංසා වේ වා!


සුවිශේසය :ලූක් 6:27-38

'“මට සවන් දෙන ඔබට මෙ‍ය කියමි: ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න; ඔබට වෛර කරන්නන්ට යහපත කරන්න; ඔබට සාප කරන්නන්ට සෙත් පතන්න; ඔබට ගැරහුම් කරන්නන් උදෙසා යාච්ඤා කරන්න; ඔබේ එක කම්මුලකට අතුල් පහර දෙන අයට අනික් කම්මුල පාන්න; ඔබේ උතුරු සළුව පැහැර ගන්නාගෙන් ඔබේ අඳනය වුව ද වළක්වා නොගන්න. ඔබෙන් ඉල්ලන හැමට ම දෙන්න; ඔබ සතු දේ පැහැර ගන්නාගෙන් යළිත් එය නොඉල්ලන්න. අනුන් ඔබට යමක් කරනවාට ඔබ කැමැත්තහු ද ඔබත් ඔවුන්ට ඒ දේ ම කරන්න. 

“ඔබට ප්‍රේම කරන්නන්ට පමණක් ඔබ ප්‍රේම කරන්නහු නම්, ඉන් ඔබට කවර නම් ප්‍රශංසාවක් වේ ද? පව්කාරයෝ පවා තමන්ට ප්‍රේම කරන්නන්ට ප්‍රේම කරති. ඔබට යහපත කරන්නන්ට පමණක් ඔබ යහපත කරන්නහු නම්, ඉන් ඔබට කවර නම් ප්‍රශංසාවක් වේ ද? පව්කාරයෝ පවා එසේ කරති. ඔබ නැවත ලබන බලාපොරොත්තුවෙන් ණයට දෙන්නහු නම්, ඉන් ඔබට කවර නම් ප්‍රශංසාවක් වේ ද? පව්කාරයෝ පවා දෙන ප්‍රමාණය නැවත ලබන පිණිස පව්කාරයන්ට ණයට දෙති. එහෙත්, ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න, යහපත කරන්න, ආපසු ලබන බලාපොරොත්තුවක් නැති ව ම ණයට දෙන්න. එවිට ඔබේ පල විපාක මහත් වේ; ඔබ පරමෝත්තමයාණන්ගේ පුත්‍රයෝ වන්නහු ය. මන්ද, කෙළෙහි ගුණ නොදත් අයට ද දුෂ්ටයන්ට ද උන් වහන්සේ කාරුණික ය.

 ඔබේ පියාණන් වහන්සේ දයානුකම්පා ඇති ව සිටින්නාක් මෙ‍න් ම ඔබ ද දයානුකම්පා ඇති ව සිටින්න.” “අනුන් විනිශ්චය නොකරන්න; එවිට ඔබත් විනිශ්චය කරනු නොලැබේ. අනුන් වරදට පත් නොකරන්න; එවිට ඔබත් වරදට පත් කරනු නොලැබේ; සමාව දෙන්න; එවිට ඔබට ද සමාව දෙනු ලැබේ. අනුන්ට දෙන්න, එවිට ඔබටත් දෙනු ලැබේ. ඔව්හු නියම මිම්ම පිරී ඉතිරී යන තරමට එය සොලව සොලවා, තළ තළා ඔබගේ ඔඩොක්කුවට මැන දමන්නහු ය. ඔබ යම් මිම්මකින් මැන දෙන්නහු ද, ඒ මිම්මෙ‍න් ම ඔබටත් ආපසු මැන දෙනු ලැබේ ය”යි වදාළ සේක. '


Comments