පෙබ 21,බදාදා -අද දවසේ සියලු කියවීම්




පළමු කියවීම :ජෝනා 3:1-10

1සමිඳාණන් වහන්සේගේ පණිවුඩය දෙ වන වරට ජෝනා වෙත පැමිණියේ ය. 2“නුඹ නැඟිට නිනිවය නම් ශ්‍රේෂ්ඨ නගරයට ගොස් මා නුඹට කියන පණිවුඩය එහි ප්‍රකාශ කරන්නැ”යි සමිඳාණන් වහන්සේ වදාළ සේක. 3එවිට ජෝනා නැඟිට සමිඳාණන් වහන්සේ නියම කළ පරිදි නිනිවයට ගියේ ය. 
නිනිවය ඉතා විශාල නගරයකි. එය හරහා යාමට දවස් තුනක් ගත වේ. 4ජෝනා නගරයට ඇතුළු වී එක දවසක් ගමන් කර, “තව දින සතළිසකින් නිනිවය වැනසෙනු ඇතැ”යි මොරගසා ප්‍රකාශ කෙළේ ය. 5නිනිවයේ වැසියෝ දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කර, උපවාසයක් නියම කොට, ලොකු අය පටන් කුඩා අය දක්වා දළ රෙදි හැඳගත්තෝ ය. 6ඒ ආරංචිය නිනිවයේ රජු වෙත පැමිණි විට, ඔහු සිංහාසනයෙන් බැස, තම සළුව ඉවත ලා දළ රෙදි පොරවාගෙන අළු පිට හිඳගත්තේ ය. 
7එවිට ඔහු නිනිවය පුරා නියෝගයක් පළ කෙළේ ය. ඒ මෙසේ ය: “මාගේ සහ මාගේ උත්තමයන්ගේ නියෝගය පරිදි, මිනිසෙක් වත්, මෘගයෙක් වත්, ගවයෙක් වත්, බැටළුවෙක් වත් කිසි ම දෙයක රස නොබලා වා! කිසි කෑමක් නොකා වා! වතුර නොබෝ වා! 8මනුෂ්‍යයෝ ද මෘගයෝ ද දළ රෙදි පොරවාගෙන දෙවියන් වහන්සේට බලවත් සේ මොරගසත් වා! ඔව්හු එකිනෙකා තම තමාගේ නපුරු මාර්ගයෙන් ද තමන්ට ඇබ්බැහි දාමරිකකම්වලින් ද හැරෙත් වා! 9අප විනාශ නොවන පිණිස සමහර විට දෙවියන් වහන්සේ හැරී තමන් සිත වෙනස් කරගෙන, තමන්ගේ බලවත් උදහසින් දුරුවන්න බැරි නැත.” 10දෙවියන් වහන්සේ ඔවුන් කළ දේත්, ඔවුන් නපුරු මාර්ගයෙන් ඉවත් වූ අයුරුත් දැක, ඔවුන්ට කරන්නට අදහස් කළ විපත ගැන සිත වෙනස් කරගෙන එය නොකළ සේක. 

 පිළිතුරු ගීය :දෙවිඳුනි, ඔබ තැළුණුබිඳුණු නිහතමානි හදවතක් ඉවත නොදකින සේක.

 1 දෙවිඳුනි, ඔබේ දයා කරුණාවෙන් මට අනුකම්පා කළ මැනව; ඔබේ විපුල දයාවෙන් මාගේ අපරාධ මකාදැමුව මැනව. 2මාගේ කෙලෙස් මලින් මා මුළුමනින් සෝදාලුව මැනව; මාගේ පාප මලින් මා පිවිතුරු කළ මැනව. 

 10දෙවිඳුනි, මා තුළ නිර්මල සිතක් මවා වදාළ මැනව; තිරසර නව ආධ්‍යාත්මයක් මට දුන මැනව. 11ඔබ හමුයෙන් මා පලවා නොහැරිය මැනව; ඔබේ ශුද්ධාත්මය මා කෙරෙන් ඉවත් නොකළ මැනව. 

 16ඔබ පුද පඬුරුවලට රිසි නැත; ඔබ ඒවාට රිසි නම්, මම ඒවා ඔබට පුදන්නෙමි. දවන යාග පූජාවලට ද ඔබ රිසි නොවන සේක. 17දෙවිඳුන් ප්‍රිය පඬුර නම්, බිඳුණු හදවතකි. දෙවිඳුනි, ඔබ තැළුණුබිඳුණු සිතක් ඉවත නොදමන සේක. 

 සුවිශේෂය :ලූක් 11:29-32 29 

 සමූහයා උන් වහන්සේ වෙත රැස් කකා එද්දී උන් වහන්සේ මෙ‍සේ වදාළ සේක: “මේ පරම්පරාව නපුරු එකකි; ඔව්හු හාස්කමක් සොයති. එහෙත් ජෝනා හැර වෙන හාස්කමක් ඔවුන්ට නොදෙනු ඇත. 30 ජෝනා නිනිවයේ වැසියන්ට යම්සේ ලකුණක් වී ද එසේ ම මනුෂ්‍ය-පුත්‍රයාණෝ මේ පරම්පරාවට ලකුණක් වන සේක. 31 දේව විනිශ්චය දවසේ දී, දකුණු දිශාවේ රැජින මේ පරම්පරාවේ මනුෂ්‍යයන්ට විරුද්ධ ව නැඟිට ඔවුන් වරදට පත් කරන්නී ය; ඈ සලමොන්ගේ ප්‍රඥාව අසනු වස් පොළොවේ සීමාන්තවල සිට පැමිණියා ය. බලන්න, සලමොන්ගේ ප්‍රඥාවට වඩා ශ්‍රේෂ්ඨ දෙයක් මෙ‍හි තිබේ. 32 නිනිවයේ මනුෂ්‍යයෝ විනිශ්චය දවසේ දී මේ පරම්පරාව සමඟ නැඟී සිට ඔවුන් වරදට පත් කරන්නෝ ය; මන්ද, ජෝනාගේ ධර්ම දේශනා අසා ඔව්හු පසුතැවී සිත් හරවා ගත්හ. බලන්න, ජෝනාට වඩා ශ්‍රේෂ්ඨ දෙයක් මෙ‍හි තිබේ.”

Comments