පළමු කියවීම
1 තවද, පෙන්තකොස්ත දිනය පැමිණි කල, ඔව්හු සියල්ලෝ එක් තැනක රැස් ව සිටියාහ. 2 එකල, සැඩ සුළඟක් හමන්නාක් වැනි හඬක් හදිසියෙන් අහසින් නික්මුණේ ය. ඔවුන් හිඳගෙන සිටි ගෙය මුළුමනින් ම එයින් පිරී ගියේ ය. 3 ගිනි දලු වැනි දිව් බෙදී ගොස් ඔවුන් එකිනෙකා මත පිහිටනු ඔවුන්ට පෙනිණි. 4 ඔව්හු සියල්ලෝ ම ශුද්ධාත්මයන්ගෙන් පූර්ණ වී ආත්මයාණන් ඔවුන්ට දුන් කතා ශක්තිය ලෙස අන්‍ය භාෂාවලින් කතා කරන්නට පටන්ගත්හ.
5 එකල මිහි පිට හැම රටකින් ම පැමිණි බැතිමත් ජුදෙව්වරු ජෙරුසලමෙහි සිටියෝ ය. 6 මේ ශබ්දය ඇසුණු කෙණෙහි ම සමූහයා එක්රැස් වූ හ. එම කතා ඔවුන් එකිනෙකාට තම තමන්ගේ මවු බසින් තේරුම් ගත හැකි ලෙස ඇසුණෙන් ඔව්හු වික්ෂිප්ත වූ හ. 7 ඔව්හු සියල්ලෝ පුදුමයෙන් පුදුමයට පත් ව, ”බලන්න, මේ කතා කරන සියල්ලෝ ගලීලයෝ නොවෙත් ද? 8 අපට හුරු පුරුදු අපේ ම මවු බසින් ඔවුන් කතා කරනු අප එකිනෙකාට ඇසෙන්නේ කෙසේ ද? 9 පාතිවරුන් ද මේදවරුන් ද එලාම්වරුන් ද මෙසොපොතේමියාවෙහිත් ජුදය සහ කපදෝකියෙහිත්, පොන්තසය සහ ආසියාවෙහිත්, 10 පිරිගිය සහ පම්පිලියායෙහිත්, මිසරය සහ සිරේනිය අවට ලිබියේ ප්‍රදේශවලත් යන මෙකී දේශවාසීන් ද රෝමයෙන් පැමිණි අමුත්තන් වන ජුදෙව්වරුන් හා ජුදෙව් ආගම වැළඳගත්තවුන් ද 11 ක්‍රීතවරුන් හා අරාබිවරු ද වන අපි, අපේ ම භාෂාවලින් දෙවියන් වහන්සේගේ බලවත් ක්‍රියා ගැන ඔවුන් කතා කරනු අසම්හ”යි කී හ.
දෙවන කියවීම
3 එබැවින්, දේවාත්මයාණන් කරණකොටගෙන කතා කරන කිසිවෙකු ‘ජේසුස් වහන්සේ සාප ලත් කෙනෙකැ’යි නොකියන බව ද, ශුද්ධාත්මයාණන් කරණකොටගෙන මිස ”ජේසුස් වහන්සේ සමිඳාණන් වහන්සේ ය”යි කීමට කිසිවෙකුට නොහැකි බව ද මම ඔබට තරයේ කියා සිටිමි.
4 විවිධාකාර දීමනා ඇතත්, සිටින්නේ එක ම ශුද්ධාත්මයාණෝ ය. 5 විවිධාකාර සේවා ඇතත්, සිටින්නේ එක ම සමිඳාණන් වහන්සේ ය. 6 විවිධාකාර දේව බල ක්‍රියා කරතත්, සිටින්නේ සියල්ලන් තුළ ක්‍රියා කරන එක ම දෙවියන් වහන්සේ ය. 7 අන්‍යොන්‍ය යහපත සඳහා එකිනෙකාට ආත්මයාණන්ගේ ප්රකාශවීමක් දී ඇත
2 මනුෂ්‍ය ශරීරයෙහි බොහෝ අවයව තිබුණත් ඒ අවයව විවිධාකාර වුවත් ඒ සියල්ල එක ම ශරීරයක් වන්නාක් මෙන් ක්‍රිස්තුන් වහන්සේත් එක ම ශරීරයක් වන සේක. 13 මන්ද, ජුදෙව්වරුන් හෝ ග්‍රීකයන් හෝ වේවා, වහලුන් හෝ නිදහස් අය හෝ වේවා, අපි සියල්ලෝ ම එක ම ආත්මයාණන් තුළ එක ම ශරීරයක් වන ලෙස, බව්තීස්ම-ස්නාපනය ලැබීමු. අපි සියල්ලෝ ම එක ම ආත්මයාණන්ගෙන් පානය කර සිටිමු.
සුවිශේෂය
19 සතියේ පළමු වන දා වූ එදා සවස ජුදෙව්වරුන්ට බියෙන් ශ්‍රාවකයන් දොරවල් වසාගෙන සිටි තැනට ජේසුස් වහන්සේ වැඩම කර ඔවුන් මැද සිට, ”ඔබට ශාන්තිය වේ වා!’යි වදාළ සේක. 20 උන් වහන්සේ මෙසේ වදාරා තමන් අත් ද ඇලය ද ඔවුන්ට පෙන්වූ සේක. ශ්‍රාවකයෝ සමිඳාණන් වහන්සේ දුටු කල ප්‍රීතියෙන් පිනාගියහ. 21 ”ඔබට ශාන්තිය වේ වා!”යි යළිත් උන් වහන්සේ ඔවුන්ට වදාරා ”පියාණන් වහන්සේ මා එවා වදාළාක් මෙන් මම ද ඔබ යවමි”යි ඔවුන්ට කී සේක. 22 උන් වහන්සේ ඉක්බිති ඔවුන් පිට හුස්ම හෙළා, ”ශුද්ධාත්මයාණන් පිළිගන්න; 23 ඔබ යමෙකුගේ පව් කමා කරන්නහු ද, ඒවා ඔවුන්ට කමා කරනු ලැබේ; ඔබ යමෙකුගේ පව් කමා නොකරන්නහු ද, ඒවා කමා නොකරනු ලැබේ ය”යි ඔවුන්ට වදාළ සේක.
Comments
Post a Comment