දැහැමියා ගේ ඇදහිල්ල ස්ථිර ය. 

පළමු කියවීම/ තෝබිත්   2:9-14

9 එදින රාත්‍රියේ මම ස්නානය කෙළෙමි. පසු ව මම ගෙදර මළුවට ගොස් එහි බිත්තියක් ළඟ හාන්සි වුණෙමි. තද රස්නය නිසා මම මුහුණ වසා නොගත්තෙමි. 10 මාගේ හිසට ඉහළින් බිත්තියේ ගේ කුරුල්ලන් සිටි බව මම නොදැන සිටියෙමි. උන්ගේ උණුසුම් බෙටි මගේ දෙනෙතට වැටුණේ ය. එවිට සුදු පැල්ලම් හටගත් බැවින් මට වෛද්‍යවරයන්ගෙන් බෙහෙත් ගැනීමට සිදු විය. එහෙත් ඔවුන් බෙහෙත් ගාන පමණට ඇහේ සුදු පැල්ලම් වඩ වඩා මා අන්ධ කෙළේ ය. අන්තිමේ දී මම සම්පූර්ණයෙන් ම අන්ධයෙක් වුණෙමි. මෙසේ අවුරුදු හතරක් මට ඇස් පෙනීම නැති විය. මගේ සියලු සහෝදරයෝ ද කණගාටු වූ හ. අහිකාර් ද එලිමයිස් නම් නගරයට යන තෙක් අවුරුදු දෙකක් මාගේ නඩත්තුව සැපයී ය. 
11 මාගේ බිරිඳ අන්නා එවිට ස්ත්‍රියකට නියම වැඩකරන්න පටන්ගත්තා ය. ඈ ලෝම කටින්නට ද රෙදි වියන්නට ද පටන්ගත්තා ය. 12 ඇයට කිරීමට බාර දුන් සියල්ලක් ම සාදා ආපසු දී ඒවාට මුදල් ගත්තා ය. මෙලෙස මාර්තු මාසයේ හත් වන දින ඈ යම්කිසි වැඩක් කර, එය දුන් අයට ඇය එය බාර දුන්නා ය. ඔව්හු ද ගෙවිය යුතු සියල්ල ගෙවූ පසු කෑමට එළු පැටියෙකු ද තෑග්ගක් වශයෙන් ඇයට දුන්නො‍් ය. 13 ඒ එළු පැටියා මාගේ ගෙදරට ආ විට කෑගසන්නට ගත්තේ ය. එවිට මම මාගේ බිරිඳ අමතා, ''මේ සතා ආවේ කොහින් ද? හොඳයි, ඌ හොරකම් කළ එකෙක් නම්! අයිතිකාරයාට ඉක්මනට ආපසු දෙන්න. හොරාගත් බඩු කෑමට අපට අයිතියක් නැතැ''යි කීවෙමි. 14 ඈ ද මට කතා කොට, ''එසේ නොවේ; ඌ මාගේ කුලියට අමතර ව දෙන ලද තෑග්ගකි''යි කීවා ය. මම ඇය විශ්වාස නොකෙළෙමි. අයිතිකාරයන්ට ඌ ආපසු දෙන්න කියා මම ඇයට කීවෙමි. මෙසේ කියන විට ඇය ඉදිරියෙහි මාගේ මුහුණ ලජ්ජාවෙන් රතු විය. ඇය ද පිළිතුරු දෙමින්, ''ඔබේ දාන ධර්ම කොහොම ද? ඔබේ ම යහපත් ක්‍රියා කොහොම ද? ඒවාට ඔබ ලැබූ පලවිපාක සියල්ලෝ ම දනිති''යි කීවා ය.
Image result for coins


සුවිශේෂය /මාක්  12:13-17


 13 වචනයකින් උන් වහන්සේ අසු කර ගන්නා පිණිස ඔව්හු පරිසිවරුන්ගෙන් ද හෙරෝදිවරුන්ගෙන් ද සමහරෙකු උන් වහන්සේ වෙත යැවූ හ. 14 ඔව්හු අවුත්, ''ගුරුදේවයෙනි, ඔබ අවංක මිනිසෙකු බවත්, කිසිවෙකු නොතකන බවත් අපි දනිමු; ඔබ මිනිසුන්ගේ තරාතිරම් නොබලා, දෙවියන් වහන්සේගේ මාර්ගය සැබෑ ලෙස උගන්වන සේක. සීසර් අධිරාජයාට බදු දීම යුතු ද අයුතු ද? දෙමු ද, නොදෙමු දැ''යි උන් වහන්සේගෙන් ඇසූ හ. 15 එහෙත් උන් වහන්සේ ඔවුන්ගේ කෛරාටිකකම දැන, ''කුමට මා පරීක්ෂා කරන්නහු ද? මට බලන්න රිදී කාසියක් මෙහි ගෙනෙන්නැ''යි වදාළ සේක. 16 ඔව්හු කාසියක් ගෙනාහ. ''මේ රූපයත්, සටහනත් කාගේ දැ''යි උන් වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක. ''සීසර් අධිරාජයාගේ ය''යි ඔව්හු කී හ. 17 එවිට ජේසුස් වහන්සේ උත්තර දෙමින්, ''රජුගේ දේ රජුට ද දෙවියන් වහන්සේගේ දේ දෙවියන් වහන්සේට ද දෙන්නැ''යි ඔවුන්ට වදාළ සේක. ඔව්හු උන් වහන්සේ ගැන අතිශයින් පුදුම වූ හ.

Comments