සමිඳුන් කෙරෙහි ගරුබිය ඇති සියල්ලෝ භාග්‍යවන්තයෝ ය.

 ඔව්හු රැකවරණය ලැබෙන පිණිස යාච්ඤා කිරීමට පටන් ගත්තෝ ය. 
පළමු කියවීම/ තෝබිත්   6:10-11,7:1,9-14,8:4-7

ඔවුන් මේදියාවට ඇතුළු වී, එක්බතානා නම් ප්‍රදේශයට ආසන්න වන විට 11 රපියල් දේව දූතයා තෝබියස් අමතා, ''සොහොයුරු තෝබියස්'' කී විට, ඔහු ද, ''ඇයි?'' කියා උත්තර දුන්නේ ය. දේව දූතයා ද කතා කරමින්, ''ඔබේ ඥාතියකු වන රගුවෙල් සමඟ අද රාත්‍රියේ අපි නවතින්නෙමු. ඔහුට සාරා නමැති දුවක් සිටියි. ඇය හැර ඔහුට පුතෙක් හො‍් දුවක් හො‍් නැත.ඔවුන් එක්බතානා නම් නගරයට ඇතුළු වන විට ම, තෝබියස් කතා කොට, ''සොහොයුරු අසරියස්, මා ඉක්මනින් අපේ සහෝදර රගුවෙල් වෙත ගෙන යන්නැ''යි කී ය. දේව දූතයා රගුවෙල්ගේ ගෙදරට යෑමට ඔහුට පාර පෙන්වී ය. රගුවෙල් මළුවේ දොර ළඟ වාඩි වී සිටියේ ය. ඔව්හු ඔහුට පළමුවෙන් ආචාර කළ විට, ඔහු පිළිතුරු දෙමින්, ''සොහොයුරනි, සැරදේ! ආයුබෝවන්!'' කියා සිය ගෙදරට ඔවුන් කැඳවාගෙන ආවේ ය. රගුවෙල් බැටළුවකු මරා, උණුසුම් ආදරයකින් ඔවුන් පිළිගත්තේ ය. 

ඔව්හු ද තමන් සිරුරු සො‍්දාගෙන ස්නානය කොට, මේසයට වාඩි වූ හ. එවිට තෝබියස් රපියල්ට කතා කොට, ''සොහොයුරු අසරියස්, මාගේ සහෝදරිය වූ සාරා මට සරණ පාවා දෙන ලෙස ඔබ රගුවෙල්ගෙන් අසන්නැ''යි කී ය. 10 රගුවෙල් එය අසා, තරුණයා අමතා, ''ආහාරපාන ගෙන මේ සවස් කාලය හොඳින් ගත කරන්න. මාගේ සොහොයුර, මාගේ දුව සාරා සරණ පාවා ගැන්මට ඔබට හැර අන් කිසිවෙකුට අයිතියක් නැත. කෙසේ වෙතත් ඔබ ඇයගේ කිට්ටු ම ඥාතියා බැවින්, ඔබට හැර අන් කෙනෙකුට ඇය සරණ පාවා දීමට මට නිදහසක් නැත. මාගේ දරුව, ඔබ සමඟ ඇත්ත ඇති සැටි කිව යුතු ය. 11 ඇයට සැමියෙකු සොයා දීමට මම සත්වරක් අපේ ඥාතීන් අතර වෑයම් කෙළෙමි. එහෙත් ඔව්හු සියල්ලෝ ම පළමු දින සවස ඇයගේ කාමරයට ඇතුළු වන විට මිය ගියහ. මාගේ දරුව, දැනට කන්න, බොන්න, සමිඳාණන් වහන්සේ තම වරප්‍රසාදයත්, සාමදානයත් ඔබට දානය කරන සේකැ''යි කී ය. 

එවිට තෝබියස් කතා කොට, ''මා ගැන ඔබ තීරණයකට පැමිණෙන තුරු කෑමබීම ගැන මම අසන්න කැමැති නොවෙමි''යි කී ය. රගුවෙල් උත්තර දෙමින්, ''එසේ වේ වා! මෝසෙස්ගේ ග්‍රන්ථය නියම කරන බැවින්, ඇය ඔබට සරණ පාවා දෙනු ඇත. ඇය ඔබට අයිති වන බව ස්වර්ගය ම නියම කරයි. එබැවින් ඔබේ සහෝදරිය මම ඔබට බාර දෙමි. මේ මොහොතේ පටන් ඔබ ඇගේ සහෝදරයා ය, ඇය ඔබේ සහෝදරී ය. අද පටන් සදහට ම ඇය ඔබට දෙනු ලැබේ. මාගේ පුත්‍රය, ස්වර්ගයේ සමිඳාණෝ අද රෑ ඔබට කරුණාව දෙන සේක් වා! ඔබට උන් වහන්සේගේ වරප්‍රසාදයත්, සාමදානයත් දෙන සේක් වා!''යි කී ය. 12 රගුවෙල් තම දුව සාරා කැඳවා ඇය අතින් ගෙන, තෝබියස්ට සරණ පාවා දෙමින්, ''මම ඇය ඔබට බාර දෙමි. මෝසෙස්ගේ ග්‍රන්ථයේ සඳහන් ව්‍යවස්ථාව සහ නියමය අනුව ඇය ඔබට බිරිඳ වන්නී ය. ඇය සරණ පාවා ගන්න. සුරක්ෂිත ව ඇය, ඔබේ ගෙදරට, ඔබේ පියාගේ ගෙදරට රැගෙන යන්න. ස්වර්ගයෙහි දෙවියන් වහන්සේ ඔබට සාමදානයෙන් සුබ ගමනක් දානය කරන සේක් වා''යි පැවසී ය. 13 එවිට ඔහු ඇගේ මව වෙත හැරී, ''ලියන කඩදාසියක් ගෙනෙන්නැ''යි කී ය. ඉන්පසු ඔහු මෝසෙස්ගේ ව්‍යවස්ථාව අනුව තම දුව තෝබියස්ට 
මනාලියක මෙන් දුන් පිළිවෙත විවාහ ගිවිසුම් පත්‍රයක සටහන් කෙළේ ය.

14 මෙසේ කළ පසු ඔව්හු ආහාරපාන ගන්නට වූ හ. ඒ අතරතුරේ දී ඇගේ දෙමාපියන් පිටතට ගොස් දොර වසාදමා තිබිණි. තෝබියස් ඇඳෙන් නැඟිට, සාරා අමතා, ''මාගේ සොහොයුරිය, නැඟිටින්න. ඔබත් මමත් යාච්ඤා කරමු. සමිඳාණන් වහන්සේගේ වරප්‍රසාදයත්, රැකවරණයත් ලැබෙන පිණිස උන් වහන්සේගෙන් ඉල්ලමු''යි කීවේ ය.ඇය නැඟිට්ටා ය. ඔව්හු රැකවරණය ලැබෙන පිණිස යාච්ඤා කිරීමට පටන් ගත්තෝ ය. තෝබියස් මෙලෙස යාච්ඤාවට මුල පිරී ය.

''අහො‍්, අප පියවරුන්ගේ දෙවිඳුනි, 
ඔබේ නමට සදා ප්‍රශංසා වේ වා! 
සගලෝ ද මැවූ සියල්ල ද සදා ඔබට ප්‍රශංසා කරත් වා!
6 ආදම් මවන ලද්දේ ඔබ වහන්සේ විසින් ය. 
ඔහුගේ ආධාරයට, උපකාරයට ඔහුගේ බිරිඳ ඒව මවා වදාළේ ඔබ වහන්සේ ය. 
මිනිස් වර්ගය, පැවත ආයේ මේ දෙදෙනාගෙනි. 
'මිනිසා තනි ව විසීම සුදුසු නැත. 
ඔහුට සුදුසු සහකාරියක මවා දෙන්නෙමි'යි වදාළේ ඔබ වහන්සේ ය.
7 එබැවින් කිසිම කාමරාගී චේතනාවකින් මාගේ සොහොයුරිය මම නොගනිමි. 
එක හිතකින් මම මෙසේ කරමි. 
මා වෙත ද, ඇය වෙත ද කරුණා පාන සේක් වා! 

අප දෙදෙන ම එක ම මහළු වියට පමුණුවන සේක් වා!''  




මුළු හෘදයෙන් ද මුළු ආත්මයෙන් ද මුළු බුද්ධියෙන් ද මුළු වීර්යයෙන් ද උන් වහන්සේට ප්‍රේම කිරීම සහ තමාට මෙන්‍ ම තම අසල්වැසියාට ප්‍රේම කිරීම, දවන යාග පූජා හා වෙනත් පූජා සියල්ලට ම වඩා ශ්‍රේෂ්ඨය
සුවිශේෂය /මාක්  12:28-34

 විනයධරයන්ගෙන් කෙනෙක් පැමිණ, ඔවුන් එකතු වී උන් වහන්සේ සමඟ විවාද කරනු අසා, උන් වහන්සේ ඔවුන්ට මැනවින් පිළිතුරු දුන් බව ද දැක, ''සියලු ආඥා අතරෙන් ශ්‍රේෂ්ඨතම ආඥාව කිමෙක් දැ''යි
 උන් වහන්සේගෙන් ප්‍රශ්න කෙළේ ය. 
29 ජේසුස් වහන්සේ උත්තර දෙමින්, ''ශ්‍රේෂ්ඨතම ආඥාව මේ ය: 'ඉශ්රායෙල් වැසියෙනි, අසන්න, අපේ ස්වාමින් වන දෙවියන් වහන්සේ එක ම සමිඳාණන් වහන්සේ ය. 
30 නුඹේ මුළු හෘදයෙන් ද නුඹේ මුළු ආත්මයෙන් ද නුඹේ මුළු බුද්ධියෙන් ද නුඹේ මුළු වීර්යයෙන් ද නුඹේ දෙවි‍ ස්වාමීන් වහන්සේට ප්‍රේම කරන්න.' 31 දෙවැන්න මේ ය: 'නුඹ නුඹට ම ප්‍රේම කරන්නාක් මෙන්‍ නුඹේ අසල්වැසියාට ප්‍රේම කරන්න.' මෙයට වඩා ශ්‍රේෂ්ඨ අන් කිසි ආඥාවක් නැතැ''යි වදාළ සේක. 

32 එවිට විනයධරයා උන් වහන්සේට පිළිතුරු දෙමින්, ''ගුරුදේවයෙනි, එය සැබෑ ය. 'උන් වහන්සේ එක ම තැනැන් වහන්සේ ය'යි ඔබ කීවා හරි ය. උන් වහන්සේ හැර අන් දෙවි‍ කෙනෙක් නැත. 33 මුළු හෘදයෙන් ද මුළු ආත්මයෙන් ද මුළු බුද්ධියෙන් ද මුළු වීර්යයෙන් ද උන් වහන්සේට ප්‍රේම කිරීම සහ තමාට මෙන්‍ ම තම අසල්වැසියාට ප්‍රේම කිරීම, දවන යාග පූජා හා වෙනත් පූජා සියල්ලට ම වඩා ශ්‍රේෂ්ඨය''යි කීවේ ය.

 34 ඔහු කොතරම් තේරුම් පැහැදුම් ඇතුව පිළිතුරු දුන්නේ දැ යි ජේසුස් වහන්සේ දැක ''ඔබ දෙවියන් වහන්සේගේ රාජ්‍යයට නුදුරු ව සිටින්නෙහි ය''යි ඔහුට වදාළ සේක. ඉන්පසු උන් වහන්සේගෙන් කිසි ප්‍රශ්නයක් අසන්න කිසිවෙකුට ධෛර්යයක් නො වී ය.

Comments