අද සුපුවත -අගෝ 20,ඉරිදා -මිහි පිට සියලු විජාතීන් හට ඔබ මඟපෙන්වන සේක


පළමු කියවීම/යෙසායා 56:1,6-7

1 සමිඳාණෝ සිය සෙනඟට මෙසේ වදාරන සේක. 
''යුක්තිය ඉටු කර හරි දේ කරන්න. 
මම නුඹලා නොපමා ව මුදන්නෙමි. 
මාගේ විමුක්තිය එළිදරව් වනු ඇත. 

6 සමිඳුන්ට සේවය කර, එතුමන්ට ප්‍රේම කර, එතුමන්ගේ මෙහෙකරුවන් වන පිණිස එතුමන් සරණ ගිය, සබත් දවස පවත්වා එය නොකෙලසන මාගේ ගිවිසුම ස්ථිර ව පවත්වන විදේශිකයන් ද මාගේ ශුද්ධ කන්දට පමුණුවා, මාගේ යාච්ඤා ගෘහයෙහි ප්‍රීති කරවන්නෙමි. 
7 ඔවුන්ගේ දවන යාග පූජා හා පුද පූජා මාගේ පූජාසනය පිට පිළිගනු ලබන්නේ ය. 
මන්ද, 'මාගේ දේව මාලිගාව සියලු ජාතීන් හට යාච්ඤා ගෘහය'ය යි කියනු ලබන්නේ ය. 


පිළිතුරු ගීය : අහෝ සමිඳුනි ,ජනතාවෝ ඔබ පසසත්වා 

1 දෙවිඳාණෝ අප වෙත දයාව පෙන්වමින් අපට ආශීර්වාද කරන සේක් වා! 
ස්වකීය මුහුණ අප කෙරෙහි බබළවන සේක් වා! 
2 එවිට මුළු ලොව ඔබේ කැමැත්ත දැනගන්නේ ය; 
සියලු විජාතීහු ඔබේ ගැළවීමේ බලය දැනගන්නෝ ය. 


4 ඔබ සාධාරණ ලෙස මිනිසුන් විනිශ්චය කරන සේක;
මිහි පිට සියලු විජාතීන් හට ඔබ මඟපෙන්වන සේක; 
එබැවින් සකල ජනයා ප්‍රීතිමත් ව සතුටින් ගී ගයත් වා! 


7 අපේ දෙවිඳාණෝ අපට ආසිරි වස්වන සේක් වා! 
පොළො‍් වැසි සියල්ලෝ එතුමන්ට ගරු කරත් වා!


දෙවන කියවීම /රෝම 11:13-15.29-32

13 දැන් මා කතා කරන්නේ විජාතීන් වන ඔබට ය. විජාතීන්ට ප්‍රේරිතයෙකු ව සිටින බැවින් මම මාගේ මෙහෙය උසස් කොට සලකමි. 14 එසේ සලකන්නේ, යම් හෙයකින් මාගේ ම ජාතියේ සෙනඟ උනන්දු කරවා ඔවුන්ගෙන් සමහරෙකු ගළවාගන්නා පිණිස ය. 15 මන්ද, ඔවුන් ප්‍රතික්ෂේප කිරීම, ලෝකයා දෙවියන් වහන්සේ හා සමඟි කිරීමට මඟක් වී නම්, ඔවුන් පිළිගැනීම, මරණයෙන් ජීවනය ලැබීමක් විනා, අන් කුමක් වන්නේ ද? 29 දෙවියන් වහන්සේ සිය දීමනා ද කැඳවීම ද වෙනස් නොකරන සේක. 30 විජාතීන් වන ඔබ යටගිය දවස, දෙවියන් වහන්සේට අකීකරු ව සිටි නමුත්, ජුදෙව්වරුන්ගේ අකීකරුකම නිසා දැන් ඔබ කරුණාව ලබා ඇත. 31 එසේ ම, ඔවුන් දැන් අකීකරු ව සිටින්නේ, ඔබට දක්වන ලද කරුණාව නිසා ඔවුනුත් කරුණාව ලබන පිණිස ය. 32 මන්ද, දෙවියන් වහන්සේ සකල සත්වයන්ට කරුණාව දක්වන පිණිස, සකල සත්වයන් අකීකරුකම නමැති බන්ධනාගාරයෙහි තැබූ සේක.


සුවිශේෂය /මතෙව් 15:21-28

21 ජේසුස් වහන්සේ එතැනින් නික්ම තීර් හා සීදොන් පෙදෙස්වලට වැඩිය සේක. 22 එක් කානානිය ස්ත්‍රියක් ඒ පෙදෙස්වල සිට අවුත්, ''දාවිත්ගේ පුත්‍ර වූ ස්වාමීනි, මට අනුකම්පා කළ මැනව; මාගේ දුව බලවත් සේ දුෂ්ටාත්මාවේශ ව සිටින්නී ය''යි කියමින් මොරගැසුවා ය. 23 එහෙත් උන් වහන්සේ ඇයට වචනයකින් වත් පිළිතුරු නුදුන් සේක. උන් වහන්සේගේ ශ්‍රාවකයෝ අවුත්, ''මේ ස්ත්‍රිය මොරගසමින් අප පස්සේ එන බැවින්, ඇයට යන්න කිව මැනවැ''යි උන් වහන්සේගෙන් ඉල්ලූ හ. 24 උන් වහන්සේ කතා කරමින්, ''මා එවන ලද්දේ ඉශ්රායෙල් වංශයේ නැති වූ බැටළුවන් වෙත පමණකැ''යි වදාළ සේක. 25 එහෙත්, ඈ අවුත් පසඟ පිහිටුවා උන් වහන්සේට වැඳ, ''ස්වාමීනි, මට පිහිට වුව මැනවැ''යි කීවා ය. 26 උන් වහන්සේ උත්තර දෙමින්, ''දරුවන්ගේ කෑම ගෙන බල්ලන්ට දැමීම යුතු නැතැ''යි වදාළ සේක. 27 එහෙත් ඈ කතා කොට, ''එසේ ය, ස්වාමීනි, බල්ලන් පවා තම ස්වාමිවරුන්ගේ මේසයෙන් වැටෙන කැබලි අවුලා කති''යි කීවා ය. 28 එවිට ජේසුස් වහන්සේ උත්තර දෙමින්, ''ස්ත්‍රිය, ඔබේ ඇදහිල්ල මහත් ය. ඔබේ කැමැත්ත ලෙස ම ඔබට වේ වා''යි වදාළ සේක. ඒ මොහොතේ පටන් ඇගේ දුව සුවපත් වූවා ය.



Comments