Ada Supuwatha අද සුපුවත-සැප් 26 අඟහරුවාදා -දිව්‍ය පූජාවේ සියලුම කියවීම්


පළමු කියවීම /එස්රා 6:7-8,12,14-20

7 ''දෙවියන් වහන්සේගේ මේ මාලිගාවේ වැඩ කරගෙන යන පිණිස ජුදෙව්වරුන්ගේ දිශාධිපතියාට ද ජුදෙව්වරුන්ගේ ප්‍රජා මූලිකයන්ට ද ඉඩ හරින්න. දෙවියන් වහන්සේගේ මේ මාලිගාව කලින් තිබුණු ස්ථානයෙහි ඔව්හු ගොඩනඟත් වා. 8 ඇරත් දෙවියන් වහන්සේගේ මේ මාලිගාව ගොඩනැඟීම පිණිස ඔබ ජුදෙව්වරුන්ගේ ඒ ප්‍රජා මූලිකයන්ට කළ යුතු දේ ගැන මම මෙසේ නියෝගයක් කරමි: වැඩට අවහිරයක් නොවන පිණිස රාජ භාණ්ඩාගාරයේ දෙයින් එනම්, යුප්‍රටීස් ගඟින් එගොඩ පෙදෙසින් ලැබෙන බදු ආදායමෙන් නොපමා ව මුළු වියදම දිය යුතු ය.

12 මෙය වෙනස් කර ජෙරුසලමෙහි තිබෙන දෙවියන් වහන්සේගේ මේ මාලිගාව විනාශ කරන්නට තමන්ගේ අත පොවන සියලු රජුන් හෝ ජාතීන් හෝ ස්වකීය නාමය එහි පිහිටෙවුවා වූ දෙවියන් වහන්සේ විනාශ කරන සේක් වා!''

14 ජුදෙව්වරුන්ගේ ප්‍රජා මූලිකයෝ ද දිවැසිවර හග්ගයිගේත්, ඉද්දෝගේ පුත් ශෙකරියාගේත් දිවැස් වැකියෙන් උනන්දු වී දේව මාලිගාව ගොඩනැඟීම සාර්ථක ලෙස කරගෙන ගියහ. ඔව්හු ඉශ්රායෙල්හි දෙවියන් වහන්සේගේ ආඥාවේ හැටියටත්, සයිරස්ගේ ද දාරියුස්ගේ ද පර්සියාවේ රජ වූ අර්තක්ෂස්තාගේ ද නියෝගයේ හැටියටත් මාලිගාව ගොඩනඟා නිම කළෝ ය. 15 දාරියුස් රජුගේ රාජ්‍ය කාලයේ හය වන අවුරුද්දේ අදාර් මාසයේ තුන් වන දින මේ මාලිගාව සාදා නිම කරන ලදී. 
16 ඉශ්රායෙල් සෙනඟ වන පූජකවරු ද ලෙවීවරු ද විප්‍රවාසයෙන් මිදී පැමිණි සෙසු අය ද දෙවියන් වහන්සේගේ මාලිගාව කැප කිරීමේ උත්සවය මහා හරසරින් පැවැත්වූ හ. 17 තවද, ඔව්හු දෙවියන් වහන්සේගේ මාලිගාව කැප කිරීමේ දී ගොනුන් සියයක් ද බැටළුවන් දෙසියයක් ද බැටළු පැටවුන් හාරසියයක් ද ඉශ්රායෙල්වරුන්ගේ ගො‍්ත්‍රවල ගණන ලෙස සියලු ඉශ්රායෙල්වරුන් උදෙසා පාප පූජාවක් වශයෙන් එළුවන් දොළොස් දෙනෙකු ද ඔප්පු කළෝ ය. 18 මෝසෙස්ගේ ව්‍යවස්ථා පොතේ නියම කර තිබෙන ප්‍රකාරයට ඔව්හු තමන්ගේ පූජකයන් ඔවුන්ගේ කොට්ඨාශවල හැටියටත්, ලෙවීවරුන් ඔවුන්ගේ පංතිවල හැටියටත් ජෙරුසලමෙහි දෙවියන් වහන්සේගේ මාලිගාවේ සේවය පිණිස පත් කළෝ ය.

19 විප්‍රවාසයෙන් මිදී ආ අය පළමු වන මාසයේ දහහතර වන දින පාස්කු මංගල්‍යය පැවැත්වූ හ. 20 පූජකවරු ද ලෙවීවරු ද එක් කෙනෙකු වත් නෑර සියලු දෙන ම පිරිසිදු වී සිටියෝ ය. ඔව්හු සියල්ලෝ පිරිසිදු ව සිට විප්‍රවාසයෙන් මිදී ආ සියල්ලන් උදෙසා ද, පූජකයන් වූ තමන්ගේ සහෝදරයන් උදෙසා ද තමන් ම උදෙසා ද පාස්කු මංගල්‍යය සඳහා බැටළු පැටවුන් මැරූ හ.


සුවිශේෂය /ලූක් 8:19-21

19 උන් වහන්සේගේ මෑණියෝ ද සහෝදරයෝ ද උන් වහන්සේ වෙත ආහ. එහෙත්, සමූහයා නිසා උන් වහන්සේට ළං වන්න ඔවුන්ට නොහැකි විය. 20 එවිට, ''ඔබේ මෑණියෝ ද සහෝදරයෝ ද ඔබ දකිනු රිසියෙන් පිටත සිටිති''යි උන් වහන්සේට දන්වනු ලැබී ය. 21 එහෙත් උන් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින්, ''මාගේ මෑණියෝත් මාගේ සහෝදරයෝත් නම් දෙවියන් වහන්සේගේ වචනය අසා එය පිළිපදින්නෝ වෙති''යි වදාළ සේක.

Comments