Ada Supuwatha - අද සුපුවත - ජනවාරි 14 ඉරිදා - දිව්‍ය පූජාවේ සියලුම කියවීම්


පළමු කියවීම /1සාමුවෙල් 3:3-10,19

3 සාමුවෙල් ද දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව තිබුණු සමිඳාණන් වහන්සේගේ ශුද්ධස්ථානයෙහි නිදාගෙන සිටියේ ය. එහි පහන එතෙක් දැල්වෙමින් තිබුණේ ය. 4 එවිට සමිඳාණන් වහන්සේ සාමුවෙල්ට අඬගැසූ සේක. ඔහු ද, ''මම මෙහි ය''යි කී ය. 5 එසේ කියා, ඒලී ළඟට දිව ගොස්, ''ඔබ මට අඬගැසුවෙහි ය. මම මෙහි ය''යි කීවේ ය. ඒලී ද, ''මම අඬ නොගැසීමි; නැවත නිදාගන්නැ''යි කීවේ ය. ඔහු ගොස් නිදාගත්තේ ය. 

6 සමිඳාණන් වහන්සේ නැවතත්, ''සාමුවෙල්'' කියා අඬගැසූ සේක. සාමුවෙල් නැඟිට ඒලී ළඟට ගොස්, ''ඇත්තට ම ඔබ මට අඬගැසුවෙහි ය; මෙන්න, මම මෙහි ය''යි කී ය. එහෙත්, ඒලී පිළිතුරු දෙමින්, ''මාගේ පුත්‍රය, මම අඬ නොගැසීමි, නැවතත් නිදාගන්නැ''යි කීවේ ය. 7 සාමුවෙල් ඒ වන තුරු සමිඳාණන් වහන්සේ දැන සිටියේ නැත. ඒ වන තුරු සමිඳාණන් වහන්සේගේ වචන ඔහුට එළිදරව් නො වී ය. 

8 සමිඳාණන් වහන්සේ යළිත් තුන් වන වරටත් සාමුවෙල්ට අඬගැසූ සේක. ඔහු නැඟිට ඒලී ළඟට ගොස්, ''ඔබ මට කතා කෙළෙහි ය. මෙන්න, මම මෙහි ය''යි කී ය. එවිට, සමිඳාණන් වහන්සේ ළමයාට අඬගසන බව ඒලී තේරුම් ගත්තේ ය. 9 එබැවින් ඒලී සාමුවෙල්ට කතා කොට, ''ඔබ ගොස් නිදාගන්න. ඔබට නැවත අඬගැසුවොත්, 'සමිඳාණන් වහන්ස, කතා කළ මැනව; ඔබ වහන්සේගේ මෙහෙකරුවා සවන් දී සිටිනවා'යි කියන්නැ''යි කීවේ ය. සාමුවෙල් ගොස් තමාගේ යහනේ නිදාගත්තේ ය. 

10 එවිට සමිඳාණන් වහන්සේ වැඩම කර, පළමු වතාවල දී මෙන්, ''සාමුවෙල්, සාමුවෙල්,'' කියා අඬගැසූ සේක. සාමුවෙල් පිළිතුරු දෙමින්, ''කතා කළ මැනව; ඔබ වහන්සේගේ මෙහෙකරුවා සවන් දී සිටිනවා ය''යි කීවේ ය. 
19 සාමුවෙල් වැඩුණේ ය. සමිඳාණන් වහන්සේ ඔහු සමඟ සිට ඔහු කී හැම දෙයක් ම එකක් වත් නෑර ඉෂ්ට කළ සේක. 

පිළිතුරු ගීය :මාගේ දෙවියනි ,ඔබේ කැමැත්තට මම ප්‍රිය කරමි

1 මම ඉවසිල්ලෙන් හිමි තුමන් ගැන බලාපොරොත්තුවෙන් සිටියෙමි, හිමි තුමාණෝ මාගේ දුක් ගැනවිලිවලට සවන් දුන් සේක. 
3 දෙවිඳුන් හට තුති පවසන, නව ගීයක් මා මුවේ තැබූ සේක. 
මෙය දැක බොහෝ දෙනෙකු ගරුබියෙන් ඇලළී, සමිඳුන් කෙරේ අදහනු ඇත. 


6 ඔබ පුද පඬුරට ප්‍රසන්න නැත; 
දවන යාග පූජා හා පාප පූජාවලින් ඔබට වැඩක් නැත.
ඒ වෙනුවට ඔබ වදන් අසන පිණිස මාගේ දෙසවන දුන් සේක. 
7 එවිට මම, ''මෙන්න, මම මෙහි ය''යි කීවෙමි. 
''මා පිළිබඳ අණපණත් ඔබේ ව්‍යවස්ථාවලියෙහි ලියා ඇත. 


8 මාගේ දෙවියෙනි, ඔබේ කැමැත්තට ප්‍රිය වෙමි, ඔබේ නීති මසිතෙහි නිදන් කරගතිමි.''
9 සමිඳුනි, ඔබට වඳින පිරිස් මැද, ඔබේ ගැළවීමේ ක්‍රියා වර්ණනා කෙළෙමි. 
නොනවත්වා එය තවත් වර්ණනා කරන බව ඔබ දන්න සේක. 


දෙවන කියවීම /1කොරින්ති 6:13-15 ,17-20

15 ඔබගේ ශරීර ක්‍රිස්තුන් වහන්සේගේ අවයවයන් බව නොදන්නහු ද? එසේ නම් මම ක්‍රිස්තුන් වහන්සේගේ අවයවයන් පැහැර ගෙන ඒවා ගණිකාවකගේ අවයවයන් කරම් ද? 17 එහෙත් ස්වාමීන් වහන්සේට සම්බන්ධ වන තැනැත්තේ උන් වහන්සේ සමඟ ඒකාත්මයක් වන්නේ ය. 

18 අනාචාරයෙන් පලා යන්න. අන් හැම පාපයක් ම මිනිසා කරන්නේ ශරීරයෙන් බැහැර ය. එහෙත් අනාචාරය කරන්නා තමාගේ ම ශරීරයට විරුද්ධ ව පව් කරයි. 19 ඔබගේ ශරීරය, ඔබට දෙවියන් වහන්සේ දෙවා වදාළ, ඔබ තුළ වැඩ වසන ශුද්ධාත්මයාණන්ගේ මන්දිරය වන බව ඔබ නොදන්නහු ද? ඔබ ඔබට ම අයිති නැත. 20 ඔබ මිලයකට ගත් අය වන්නහු ය. එබැවින් ඔබගේ ශරීර දේව මහිමය සඳහා යොදවන්න.


සුවිශේෂය / ජෝහන් 1:35-42

35 පසු දින නැවතත් ජොහන් සිය ගෝලයන් දෙදෙනෙකු සමඟ සිටිය දී 36 මඟ වඩිනා ජේසුස් වහන්සේ දෙස බලා, ''බලන්න, දෙවියන් වහන්සේගේ බැටළු පෝතකයාණෝ''යි කී ය. 37 ගෝලයෝ දෙදෙන ඔහු කී දේ අසා ජේසුස් වහන්සේ පසුපස ගියහ. 38 ජේසුස් වහන්සේ හැරී ඔවුන් තමන් පසුපස එනු දැක, ''ඔබ කුමක් සොයන්නහු දැ''යි ඇසූ සේක. ඔව්හු ද, ''රබ්බි, (එහි තේරුම ගුරුදේවයෙනි, යනු යි.) ඔබ වැඩ වසන්නේ කොතැන දැ''යි ඇසූ හ. 39 ''ඇවිත් බලන්නැ''යි උන් වහන්සේ ඔවුන්ට වදාළ සේක. එසේ ඔව්හු අවුත් උන් වහන්සේ වැඩ වසන ස්ථානය දැක, එදින උන් වහන්සේ සමඟ ගත කළහ. වේලාව සවස හතරට පමණ වී ය.
 
40 ජොහන්ගේ කීම අසා උන් වහන්සේ පසුපස ගිය දෙදෙනාගෙන් එක් තැනැත්තෙක් නම්, සීමොන් පේදුරුගේ සොහොයුරු ඇන්ඩෘ ය. 41 ඔහු පළමුවෙන් තම සොහොයුරා මුණගැසී, ''අපට මෙසියස් වහන්සේ හමු වූ හ''යි කී ය. ('මෙසියස්' යන්නෙහි අර්ථය 'ක්‍රිස්තුස්' යනු යි.) 42 ඔහු ජේසුස් වහන්සේ වෙත සීමොන් කැඳවාගෙන ආවේ ය. ජේසුස් වහන්සේ ඔහු දෙස බලා, ''ඔබ ජොහන්ගේ පුත් සීමොන් ය; ඔබට 'කේපස්' යයි කියනු ඇතැ''යි වදාළ සේක. ('කේපස්' යන්නෙහි අර්ථය 'පර්වතය'c යනු යි.)



Comments