ස්වර්ගයෙන් පහළ වන ජීවනදායක ආහාරය මම ය.



අගෝ 12, ඉරිදා - අද සුපුවත

පළමු කියවීම / 1 රාජාවලිය 19:4-8

( එවිට ජෙශෙබෙල් කතා කොට, ''මා හෙට මේ වේලාවට පමණ ඔබේ ප්‍රාණය ඒ දිවැසිවරුන්ගෙන් එක් කෙනෙකුගේ ප්‍රාණය මෙන් වන්නට සැලැස්සුවේ නැත්නම්, දෙවිවරු මා ඉතා දරුණු ලෙස මරාදමත් වා''යි පණිවුඩකාරයෙකු අත එලියාට කියා ඇරියා ය. 3 ඔහු ඒ අසා බිය වී තම පණ ගළවාගැනීමට පලා ගියේ ය. මෙසේ ගොස් ඔහු ජුදාට අයිති බෙයර්-ෂෙබා නම් ස්ථානයට පැමිණ තම වැඩකාරයා එහි නවතින්නට හැර, )

4 තමා ම මුළු දවසක ගමන් ප්‍රමාණය නිමවමින් පාළුකරයට පිවිස රෝතෙම් නම් ගසක් යට වාඩි වී, තමා මැරෙන ලෙස ඉල්ලමින් ''සමිඳාණන් වහන්ස, ඉතින් ඇත, දැන් මාගේ ප්‍රාණය ගත මැනව. මන්ද, මාගේ පියවරුන්ට වඩා මම උතුම් නොවෙමි''යි කී ය. 
5 මෙසේ කියා ඔහු ඒ රෝතෙම් ගස යට වැතිර නිදාගත්තේ ය. එවිට දේව දූතයෙක් ඔහුට අතගසා, ''නැඟිට කන්නැ''යි කී හෙයින්, 6 ඔහු බැලූ විට තම හිස ළඟ අඟුරු පිට පිළිස්සූ රොටියක් හා වතුර භාජනයක් තිබෙනු දැක කා බී නැවත වැතුරුණේ ය. 7 තවද, සමිඳාණන් වහන්සේගේ දූතයා දෙ වන‍ වර අවුත්, ඔහුට අතගසා, ''නැඟිට කන්න, ගමන නුඹට දුර වැඩි වන්න පුළුවනැ''යි කීවේ ය. 8 ඔහු නැඟිට කා බී, ඒ ආහාරයේ සවි ශක්තියෙන් දවල් සතළිසක් හා රෑ සතළිසක් ගමන් කර දෙවියන් වහන්සේගේ කන්ද වන හොරෙබ් ළඟට පැමිණියේ ය. 

පිළිතුරු ගීය : හිමි තුමාණන් ගුණවත් බව අපි අත්දකින්නෙමු                                                      (ගීතාවලිය 34:1-8 /අබිමෙලෙක් වෙතින් නෙරපනු ලැබූ පසු දාවිත් ගැයූ ගීතයකි. )


1 හැම වේලේ ම හිමි තුමන්ට මම ප්‍රශස්ති ගී ගයමි. 
එතුමන්ගේ ගුණ වැණුම් මා මුවින් තොර නොවෙයි. 
2 මම එතුමන්ගේ ගුණ වර්ණනා කරමි. 
නිහතමානී අය ඒ අසා තොස් වෙත්වා;

 3 මා සමඟ හිමි තුමන් වර්ණනා කරන්න; 
අපි එක් වී එතුමන්ගේ නාමය පසසමු. 
4 මම හිමි තුමන් සොයා ගියෙමි;
එතුමාණෝ මට පිළිතුරු දී හැම බියෙන් මා මිදූ සේක.
5 එතුමන් දෙස බලන්නා ප්‍රීතියෙන් බැබළෙන්නේ ය.
 ඔහුගේ මුහුණ කවදාවත් ලජ්ජාවෙන් අඳුරු නොවන්නේ ය. 

6 හිමි තුමන්ට කන්නලව් කළ එක් අසරණයෙක් විය;
 එතුමාණෝ ඔහුගේ බස් අසා, සියලු දුක් ගැහැටවලින් ඔහු මිදූ සේක. 
7 හිමි තුමන්ගේ දූතයා දේව බය ඇති අය වට කර,
 කඳවුරු බැඳ, ඔවුන් මුදා හරියි.
 8 හිමි තුමන් ගුණවත් බව ඔබ ම අත්දැකීමෙන් දැනගන්න; 
එතුමන්ගේ රැකවරණය ලබන තැනැත්තේ ආසිරි ලබයි. 


දෙවන කියවීම /එපිස 4:30-5:2

30 ශුද්ධාත්මයාණන් වහන්සේට දුක් නොදෙන්න. මන්ද, මිදීමේ දවසට සූදානමක් වශයෙන් ඔබ ලබා ඇති, සහතිකයේ මුද්‍රාව උන් වහන්සේ ය. 31 තිත්තකම්, කෝපය, උදහස, කෝලාහල, අපහාස හා සියලු ආකාර ද්වේෂ පහ කරදමන්න. 32 එකිනෙකා කෙරෙහි කරුණාව ද දයානුකම්පාව ද ඇති ව සිට, දෙවියන් වහන්සේ ක්‍රිස්තුන් වහන්සේ තුළින් ඔබට කමා කළාක් මෙන් ඔබත් එකිනෙකාට කමා කරන්න.


1 ඔබ දෙවියන් වහන්සේගේ ප්‍රේමණීය දරුවන් වන බැවින්, උන් වහන්සේ මෙන් වන්නට උත්සාහ කරන්න. 2 ක්‍රිස්තුන් වහන්සේ අපට ප්‍රේම කොට, මිහිරි සුගන්ධ පූජාවක් ද යාගයක් ද හැටියට අප වෙනුවෙන් දෙවියන් වහන්සේට සිය ජීවිතය පරිත්‍යාග කළාක් මෙන්, ඔබත් ප්‍රේමයෙන් ජීවත් වන්න. 


සුවිශේෂය /ජොහන් 6:41-51

41 එවිට, 'ස්වර්ගයෙන් පහළ වූ ආහාරය මම ය'යි උන් වහන්සේ වදාළ බැවින්, ජුදෙව්වරු උන් වහන්සේ ගැන මැසිවිලි කියමින්, 42 ''මොහු ජෝසෙප්ගේ පුත් ජේසුස් නොවේ ද? අප මොහුගේ මව ද පියා ද අඳුනන්නේ නැද් ද? 'මම ස්වර්ගයෙන් බැස්සෙමි'යි ඔහු දැන් කියන්නේ කෙසේ දැ''යි කී හ. 

43 ජේසුස් වහන්සේ ඔවුන් අමතමින්, ''ඔබ අතරෙහි මැසිවිලි නොදොඩන්න. 44 මා එවා වදාළ පියාණන් වහන්සේ තමන් වෙත ඇද ගන්නා අයෙකුට මිස, අන් කිසිවෙකුට මා වෙතට පැමිණිය නොහැකි ය. මම අන්තිම දවසේ දී ඔහු උත්ථාන කරන්නෙමි. 45 'සියල්ලෝ ම දෙවියන් වහන්සේ විසින් උගන්වනු ලබති'යි දිවැසාවලියෙහි ලියා ඇත. දෙවියන් වහන්සේට සවන් දී, උන් වහන්සේගෙන් ඉගෙනගත් සියල්ලෝ ම මා වෙත එති. 46 දෙවියන් වහන්සේ වෙතින් පැමිණි තැනැන් වහන්සේ හැර, අන් කිසිවෙකු දෙවියන් වහන්සේ දැක ඇතැ යි මෙයින් අදහස් නොකරමි, උන් වහන්සේ පමණක් පියාණන් වහන්සේ දැක ඇත. 

47 ඒකාන්තයෙන් ම මම ඔබට කියමි, අදහන්නාට සදාතන ජීවනය ඇත. 48 ජීවනදායක ආහාරය මම ය. 49 ඔබේ පියවරු කාන්තාරයේ දී මන්නා කෑහ; එහෙත් ඔව්හු මියගියහ. 50 මෙය වනාහි, ස්වර්ගයෙන් බැස එන ආහාරය බැවින් එයින් පෝෂණය වන කිසිදු මිනිසෙක් නො මැරෙන්නේ ය. 51 ස්වර්ගයෙන් පහළ වන ජීවනදායක ආහාරය මම ය. යමෙක් මේ ආහාරයෙන් වැළඳුවොත්, ඔහු සදහට ම ජීවත් වන්නේ ය. මා විසින් දෙනු ලබන ඒ ආහාරය මාගේ මාංසය වේ. මා එය දෙන්නේ ලෝකයාගේ ජීවනය පිණිස ය''යි වදාළ සේක. 

Comments