සමිදු මහිමය ,අහසත් පොළොවත් ඉක්මවන සේක


අගෝ 13, සඳුදා  - අද සුපුවත

පළමු කියවීම / එසකියෙල් 1:2-6,24-28

( ක්‍රි.පූ. 586 දී ජෙරුසලමේ වැටීමට පෙරත් ඊට පසුත් අතර කාලයේ දී, දිවැසිවර එසකියෙල් බබිලෝනියේ විප්‍රවාසගත ව විසී ය. ඔහු දෙවියන් වහන්සේගේ විශේෂ සංකේතාත්මක දර්ශනයක් තුළින් කැඳවනු ලැබ, දිවැසිවර සේවයට කැප වූවෙකි. ඔහුගේ පණිවුඩය විශේෂයෙන් යොමු කරන ලද්දේ බබිලෝනියේ විප්‍රවාසගත ව සිටි සෙනඟටත්, ජෙරුසලමේ වැසියන්ටත් ය. )

2 ජෙහෝයාකින් රජු විප්‍රවාසයට ගෙනයනු ලැබූ පසු, පස් වන අවුරුද්දේ මාසයේ පස් වන දින 3 බබිලෝනියේ කෙබාර් ගං තෙර බුසීගේ පුත් එසකියෙල් නම් පූජකයා වෙත සමිඳාණන් වහන්සේගේ පණිවුඩය පැමිණියේ ය. සමිඳාණන් වහන්සේගේ ආනුභාවය ද එහි දී ඔහු පිට විය. 
4 මා බැලූ විට චණ්ඩ මාරුතයක් උතුරෙන් එනු මම දිටිමි. ඒ සමඟ දීප්තියෙන් වට වූ මහා වලාපටලයක් ද දිළිහෙන ලෝකඩ මෙන් ගින්න මැදින් බැබළීමක් ද ගිනි දලු විහිදෙන ගින්නක් ද වූයේ ය. 5 සතුන්ගේ පෙනුම ඇති සතරදෙනෙක් ඒ මැද සිටියහ. 6 ඔවුන්ගේ පෙනුම මෙසේ ය: ඔවුන්ට මනුෂ්‍ය ස්වරූප තිබුණේ ය. ඔවුන් එකිනෙකාට මුහුණු සතරක් ද පියාපත් සතරක් ද තිබිණි. ඔවුන්ට ඇද නැති පාද තිබිණි.

24 ඔවුන් යන විට, ඔවුන්ගේ පියාපත්වල ශබ්දය බොහෝ ජල ධාරාවන්ගේ ශබ්දය මෙන් ද සර්ව පරාක්‍රමයාණන්ගේ හඬ මෙන් ද මට ඇසිණි. එයින් නැඟුණු ඝෝෂාව යුද කඳවුරක ඝෝෂාව මෙන් විය. ඔවුන් නැවතී සිටි විට, ඔව්හු සිය පියාපත් පහත් කරගත්තෝ ය. 25 ඔවුන්ගේ හිස්වලට උඩින් තිබුණු අහස් ගැබට ඉහළින් හඬක් පැමිණියේ ය. ඔවුන් නැවතී සිටි විට, ඔව්හු සිය පියාපත් පහත් කරගත්තෝ ය. 
26 ඔවුන්ගේ හිස්වලට උඩින් තිබුණ ආකාශයට ඉහළින් නීලමාණික්‍යයක පෙනීම ඇති සිංහාසනයක ස්වරූපයක් තිබුණේ ය. සිංහාසනය මත මිනිස් පෙනීමක් වැනි ස්වරූපයක් තිබිණි.


පිළිතුරු ගීය : සමිදු මහිමය ,අහසත් පොළොවත් ඉක්මවන සේක

1 සමිඳුන් පසසන්න. සගලෝ සිට සමිඳුන් පසසන්න. 
උස් තැන්හි දී ඔබ හැම එතුමන් පසසන්න. 
2 එතුමන්ගේ සියලු දූතයෙනි, එතුමන් පසසන්න. 
එතුමන්ගේ මුළු සේනාවෙනි, එතුමන් පසසන්න. 

11 මිහි පිට රජවරුන් හා සියලු මිනිස් වර්ගයෙනි, අධිපතිවරුනි, ලොවේ සියලු විනිසකරුවෙනි, 
12 තරුණ තරුණියනි, මහල්ලන් හා බාලයෙනි, සමිඳුන් පසසන්න. 
13 මොවුහු සමිඳුන්ගේ නාමයට ප්‍රශංසා කරත් වා! 
එතුමන්ගේ නාමය පමණක් උදාරතර ය. 
එතුමන්ගේ මහිමය අහසත්, පොළොවත් ඉක්මවා යන්නේ ය.

14 එතුමන්ගේ සියලු සෙනඟ ද එතුමන්ට ප්‍රිය ඉශ්රායෙල් සෙනඟ ද සියලු සැදැහැවතුන් ද පැසසුමට හා මහිමයට එතුමාණෝ එසෙවූ සේක.
සමිඳුන්ට ප්‍රශංසා කරන්න.


සුවිශේෂය / මතෙව් 17:22-27

22 ඔවුන් ගලීලයේ නැවතී සිටින අතර උන් වහන්සේ සිය ශ්‍රාවකයන්ට කතා කොට, ''මනුෂ්‍ය-පුත්‍රයාණෝ මිනිසුන් අතට පාවාදෙනු ලබන සේක. 23 ඔව්හු එතුමාණන් මරන්නෝ ය. එහෙත් තුන් වන දා එතුමාණෝ උත්ථාන කරනු ලබන සේකැ''යි වදාළ සේක. ඒ ඇසූ ඔව්හු අතිශයින් ශෝක වූ හ.

24 ඔවුන් කපර්ණවුමට ආ කල දේව මාලිගා බද්ද අය කරන්නෝ පේදුරු වෙතට අවුත්, ''ඔබගේ ගුරුදේවයන් දේව මාලිගා බද්ද ගෙවන්නේ නැද්දැ''යි ඇසූහ. 25 ''ගෙවන සේකැ''යි ඔහු කී ය. ඔහු ගෙට පිවිසි කල, යමක් කියන්න පෙර, ජේසුස් වහන්සේ ඔහුට කතා කොට, ''සීමොන්, මේ ගැන ඔබගේ අදහස කුමක් ද? මෙලොව රජවරුන් සුංගම් නොහොත් ආදායම් ගන්නේ කාගෙන් ද? සිය සෙනඟගෙන් ද නොහොත් විදේශීන්ගෙන් දැ''යි ඇසූ සේක. 26 ''විදේශීන්ගෙන් ය''යි ඔහු කී කල, ජේසුස් වහන්සේ කතා කොට, ''එසේ නම් ස්වදේශීය සෙනඟ නිදහස් ය. 

27 එහෙත්, අප ඔවුන්ට බාධාවක් නොවන පිණිස, ඔබ මුහුදට ගොස් බිළි බා, මුලින් ම අසුවන මාළුවා ගෙන, උගේ කට ඇරිය විට රිදී කාසියක් ඔබට සම්බ වන්නේ ය. එය ගෙන මා සහ ඔබ වෙනුවෙන් ඔවුන්ට දෙන්නැ''යි වදාළ සේක.


Comments