ළදරුවන්ට මා වෙත එන්න ඉඩ හරින්න


අගෝ 17,සෙනසුරාදා -අද සුපුවත

පළමු කියවීම / එසකියෙල් 18:1-13,30-32

1 සමිඳාණන් වහන්සේ මට යළිත් මෙසේ වදාළ සේක: 
2 '' 'පියවරු ඇඹුල් මිදි පල කෑවෝ ය; දරුවන්ගේ දත් හිරි වැටෙන්නේ ය' යන ප්‍රස්තාව පිරුළ නුඹලා ඉශ්රායෙල් රටෙහි නැවත නැවත කියන්නේ මන් ද? 
3 ''ඉශ්රායෙල්හි මේ ප්‍රස්තාව පිරුළ මින්පසු කියනු නොලැබේ යයි මහෝත්තම දෙවි ස්වාමීන් වන මම මාගේ නාමයෙන් දිවුරා කියමි. 4 බලන්න, හැම ජීවිතයක් ම මට අයිති ය; පියාගේ ජීවිතය මෙන් පුත්‍රයාගේ ජීවිතයත් මට අයිති ය. පාපයේ ප්‍රතිවිපාකය විඳින්නේ පව් කළ පුද්ගලයා ම ය. 

5 ''දැහැමි මිනිසා නීති ගරුක, අහිංසක පුද්ගලයෙකි, 6 ඔහු කිසි කලක කඳු මත පූජාස්ථානවල කෑම කන්නේ නැත; ඉශ්රායෙල්හි දේව රූප දෙසට නෙත් යොමු කරන්නේ නැත; අන් කෙනෙකුගේ භාර්යාව දූෂණය කරන්නේ නැත; ඔසප් වී සිටින ස්ත්‍රියක වෙත ළඟා වන්නේ නැත; 7 කිසිවෙකුට පීඩා කරන්නේ නැත; ඔහු ණයට ගත් තැනැත්තාගේ උකස ආපසු දෙන්නේ ය; සොරකම් නොකරන්නේ ය; සාගින්නේ පෙළෙන්නාට තමාගේ කෑම දෙන්නේ ය, වස්ත්‍ර නැති අයට වස්ත්‍ර දෙන්නේ ය; 8 ඔහු පොලියට මුදල් නොදෙයි; අයුතු ලාභ නොගනියි; නපුරෙන් වැළකෙයි. එකිනෙකා අතරේ සාධාරණ ලෙස යුක්තිය ඉටු කරයි; 9 මාගේ පණත් ප්‍රකාර හැසිරෙයි. මාගේ නියමයන් අවංක ව පවත්වයි. එවැනි මිනිසෙක් ධර්මිෂ්ඨ ය. ඔහු සැබැවින් ම ජීවත් වන්නේ ය. මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. 

10 ''මේ මිනිසාට සැහැසිකම් කරන, මිනීමරුවකු වන, මේ නියමයන්ට පිටුපාන පුත්‍රයෙකු සිටින්නට පුළුවන. පියා කිසි අයුතුකමක් නොකළ නමුත්, 11 මේ පුත්‍රයා කඳු මත පූජාස්ථානවල කෑම කන්නේ ය; අන් කෙනෙකුගේ භාර්යාව දූෂණය කරන්නේ ය. 12 අසරණයාට ද දිළින්දාට ද පීඩා කොට කොල්ලකන්නේ ය; ණයට ගත් තැනැත්තාගේ උකස ආපසු නොදෙන්නේ ය; දේව රූප දෙසට නෙත් යොමා, 13 පිළිකුල් ක්‍රියා කරන්නේ ය; පොලියට දී අයුතු ලාභ ද ගන්නේ ය. ඒ පුත්‍රයා ජීවත් වන්නේ ද? නැත. ඔහු ජීවත් වන්නේ නැත. ඔහු මේ සියලු පිළිකුල් ක්‍රියා කළ බැවින් ඔහු සැබැවින් ම නසින්නේ ය. ඔහුගේ විනාශයට ඔහු ම වගකිව යුතු වේ. 

30 ''එබැවින්, අහෝ ඉශ්රායෙල්වරුනි, මම නුඹලා එකින් එකා පෞද්ගලික වශයෙන් තම තමාගේ ක්‍රියා අනුව විනිශ්චය කරන්නෙමි යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක. පසුතැවී සිත් හරවා ගෙන නුඹලා කළ සියලු වරද හැර දමන්න; එවිට අයුතුකම නුඹලාගේ විනාශයට කාරණයක් නොවන්නේ ය. 31 නුඹලා කළ නුඹලාගේ සියලු වරද නුඹලා වෙතින් ඉවතදමා අලුත් සිතක් ද අලුත් මනසක් ද නුඹලාට ම සලසාගන්න. ඉශ්රායෙල්වරුනි, නුඹලා නසින්නේ කුමට ද? 32 කිසිවෙකු මැරෙනවාට මාගේ කැමැත්තක් නැත. එබැවින්, පාපයෙන් හැරී ජීවත් වන්න. මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක.''


පිළිතුරු ගීය : දෙවිඳුනි ,නිර්මල සිතක් මා තුල මවා වදාළ මැනව

10 දෙවිඳුනි, මා තුළ නිර්මල සිතක් මවා වදාළ මැනව; 
තිරසර නව ආධ්‍යාත්මයක් මට දුන මැනව. 
11 ඔබ හමුයෙන් මා පලවා නොහැරිය මැනව; 
ඔබේ ශුද්ධාත්මය මා කෙරෙන් ඉවත් නොකළ මැනව. 
12 විමුක්තියේ ප්‍රීතිය මට යළි දුන මැනව; 
අවනත සිතක් දී මා දැරුව මැනව. 
13 එවිට මම අපරාධකරුවන්ට ඔබ මඟ පහදා දෙන්නෙමි;
පව්කරුවන් ඔබ වෙත හරවාගෙන එන්නෙමි. 

16 ඔබ පුද පඬුරුවලට රිසි නැත; 
ඔබ ඒවාට රිසි නම්, මම ඒවා ඔබට පුදන්නෙමි. 
දවන යාග පූජාවලට ද ඔබ රිසි නොවන සේක. 
17 දෙවිඳුන් ප්‍රිය පඬුර නම්, බිඳුණු හදවතකි. 
දෙවිඳුනි, ඔබ තැළුණුබිඳුණු සිතක් ඉවත නොදමන සේක. 

සුවිශේෂය / මතෙව් 19:13-15

13 එකල උන් වහන්සේගේ අත් ළදරුවන් පිට තබා යාච්ඤා කරන පිණිස, සමහරු උන් වහන්සේ වෙතට ඔවුන් ගෙනාහ. ශ්‍රාවකයෝ ඔවුන්ට තරවටු කළහ. 14 එහෙත්, ජේසුස් වහන්සේ කතා කොට, ''ළදරුවන්ට මා වෙත එන්න ඉඩ හරින්න; ඔවුන් නොවළක්වන්න; මන්ද, ස්වර්ග රාජ්‍යය මෙවැන්නන්ගේ ය''යි වදාළ සේක. 15 උන් වහන්සේ ඔවුන් පිට අත් තබා එතැනින් නික්ම ගිය සේක.

Comments