ස්වර්ගයෙන් පහළ වන ජීවනදායක ආහාරය මම ය.


අගෝ 19,ඉරිදා - අද සුපුවත

පළමු කියවීම/හිතෝපදේශය 9:1-6

1 ප්‍රඥාව ඇගේ මන්දිරය ඉදි කර ඇත, එහි කුළුණු සතක් සාදා ඇත. 
2 සතුන්ගේ මසින් ද රස කැවූ මිදිරසයෙන් ද ඇගේ මඟුල් මේසය පිළියෙළ කොට ඇත. 
3 තමන් පිටත් කර යැවූ සේවිකාවන් ලවා, නගරයේ ඉහළ ම තැන සිට ඈ මෙසේ ආරාධනා කරන්නී ය: 
4 ''අනුවණ ජනතාවෙනි, මෙහි පිවිසෙන්න.'' 
මෝඩ මිනිසුන්ට ඈ මෙසේ කියන්නී ය: 
5 ''එන්න මාගේ බොදුන් අනුභව කොට, රස කැවූ මිදිරස පානය කරන්න.
6 අනුවණකම හැරදමා ජීවත් වන්න; 
නැණනුවණ මාවතෙහි ගමන් කරන්න.'' 

පිළිතුරු ගීය/හිමිතුමන් ගුණවත් බව අත්දැකීමෙන් දැන ගන්න

1 හැම වේලේ ම හිමි තුමන්ට මම ප්‍රශස්ති ගී ගයමි. 
එතුමන්ගේ ගුණ වැණුම් මා මුවින් තොර නොවෙයි. 
2 මම එතුමන්ගේ ගුණ වර්ණනා කරමි. 
නිහතමානී අය ඒ අසා තොස් වෙත්වා; 

9 එතුමන්ගේ සැදැහැවතුනි, එතුමන්ට ගරුබිය දක්වන්න; 
මන්ද, දේව ගරුබිය ඇති අයට අගහිඟයක් නැත. 
10 aධනපතීහු පවා කෑම නැති ව සාගින්නෙන් පෙළෙති; 
එහෙත්, හිමි තුමන් සරණ යන අයට යහපත් දෙයින් කිසි අඩුවක් නැත. 
11 දරුවෙනි, මට සවන් දෙන්න. 
සමිඳුන්ට ගරු කිරීමට මම ඔබට උගන්වන්නෙමි. 
12 සැප ජීවිතය භුක්ති විඳීමට යම් කෙනෙක් කැමැති ද? 
දිගායු වළඳා සුව සම්පත් රස විඳීමට කැමැති ද? 
13 එසේ නම්, ඔහු නපුරු කතාවෙන් ද මුසාවාදයෙන් ද වැළකී සිටිය යුතු ය.
14 නපුර හැර දමා යහපත කරන්න; 
සාමය සොයා ඒ අනුව යන්න. 

දෙවන කියවීම /එපිස 5:15-20

15 එබැවින් ඔබ ජීවත් වන පිළිවෙළ ගැන ඉතා සැලකිලිමත් වන්න. අඥානයන් මෙන් නොව, ඥානවන්තයන් මෙන් ජීවත් වන්න. 16 කාලය නපුරු බැවින්, ඇති හැම අවස්ථාවකින් ම ප්‍රයෝජන ගන්න. 17 එබැවින් අනුවණයන් නොවී, සමිඳාණන් වහන්සේගේ කැමැත්ත කිමෙක් ද කියා තේරුම්ගන්න. 

18 මුද්‍රික පානයෙන් මත් නොවන්න. එයින් අනාචාරකම් හටගන්නේ ය. ඒ වෙනුවට ආත්මයාණන්ගෙන් පූර්ණ වන්න. 19 ගීතිකා, තුති ගී හා ශුද්ධ ගී එකිනෙකාට ගයන්න. ඔබ හදවත් තුළ තුති නද දෙමින් සමිඳුන්ට ගී ගයන්න. 20 අපගේ සමිඳාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නාමයෙන්, දෙවි පියාණන් වහන්සේට සෑම විට ම සෑම දේ ගැන ම, ස්තුති කරන්න.


සුවිශේෂය /ජොහන් 6:51-58

51 ස්වර්ගයෙන් පහළ වන ජීවනදායක ආහාරය මම ය. යමෙක් මේ ආහාරයෙන් වැළඳුවොත්, ඔහු සදහට ම ජීවත් වන්නේ ය. මා විසින් දෙනු ලබන ඒ ආහාරය මාගේ මාංසය වේ. මා එය දෙන්නේ ලෝකයාගේ ජීවනය පිණිස ය''යි වදාළ සේක. 

52 එවිට ජුදෙව්වරු ඔවුනොවුන් අතර විවාද කරමින්, ''මේ මිනිසා, ඔහුගේ මාංසය අනුභව කරන පිණිස අපට දෙන්නේ කෙසේ දැ''යි කී හ. 53 එබැවින් ජේසුස් වහන්සේ ඔවුන් මෙසේ ඇමතූ සේක: ''ඒකාන්තයෙන් මම ඔබට කියමි, ඔබ මනුෂ්‍ය-පුත්‍රයාණන්ගේ මාංසය අනුභව නොකරන්නහු නම්, ඔහුගේ රුධිරය පානය නොකරන්නහු නම්, ඔබ තුළ ජීවනය නැත. 54 යමෙක් මාගේ මාංසය අනුභව කරන්නේ ද, මාගේ රුධිරය පානය කරන්නේ ද, ඔහුට සදාතන ජීවනය ඇත. තවද, මම ඔහු අන්තිම දවසේ දී උත්ථාන කරන්නෙමි. 55 මන්ද, මාගේ මාංසය සැබෑ ආහාරය වේ; මාගේ රුධිරය සැබෑ පානය වේ. 

56 මාගේ මාංසය අනුභව කරන, මාගේ රුධිරය පානය කරන තැනැත්තේ මා තුළ ජීවත් වන්නේ ය; මම ද ඔහු තුළ ජීවත් වන්නෙමි. 57 ජීවමාන පියාණන් වහන්සේ මා එවා වදාළ බැවින්, මා පියාණන් වහන්සේ නිසා ජීවත් වන ලෙස ම, මා අනුභව කරන තැනැත්තේ, මා නිසා ජීවත් වෙයි. 58 මේ වනාහි ස්වර්ගයෙන් පහළ වූ ආහාරය වේ. එය අපේ පියවරුන් වැළඳූ ආහාර මෙන් නොවේ. ඒ ආහාරය වැළඳූ ඔව්හු මළහ. එහෙත්, මේ ආහාරය වළඳන තැනැත්තේ සදහට ම ජීවත් වන්නේ ය.''

Comments