යමෙක් මා අනුව එන්න කැමැත්තේ ද, ඔහු තමකම නසා කුරුසිය දරා, මා අනුව ඒ වා!


පළමු කියවීම /යෙසායා  50:5-9

5 දෙවි සමිඳුන් මාගේ කන් පහදා ඇත. 
මා එතුමන්ට විරුද්ධ ව කැරලි ගැසුවේ වත්, එතුමන්ට පිටුපා ගියේ වත් නැත.
6 මට පහර දෙන්නන්ට මම මාගේ පිට පෑවෙමි. 
මාගේ රැවුල් ගස් උදුරන්නන්ට මම මුහුණ දුන්නෙමි. 
මාගේ මුහුණ නින්දාවෙනුත්, කෙළ ගැසීමෙනුත් හරවා නොගතිමි. 


7 මහෝත්තම දෙවි සමිඳාණන් මට උපකාර කරන බැවින් මම වියවුල් නොවන්නෙමි. 
මම නිර්භීත ලෙස මුහුණ පාන්නෙමි. 
මා ලජ්ජාවට නොපැමිණෙන බව දනිමි. 
8 මන්ද, දෙවිඳාණෝ මා ළඟ ය; 


එතුමාණෝ මා නිදොස් බව පෙන්වන සේක. 
මට විරුද්ධ ව චෝදනා කරන්නේ කවරෙක් ද? 
අපි දෙදෙනා ම විනිශ්චයයට යමු; 
ඔහු මට විරුද්ධ ව චෝදනාව ඉදිරිපත් කරා වා! 


9 මහෝත්තම දෙවි සමිඳාණෝ මට උපකාර කරන සේක. 
'මා වැරදිකරු ය'යි ඔප්පු කළ හැක්කේ කවරෙකුට ද? 
කාවුන් කාදමන පරණ වස්ත්‍රයක් මෙන් මාගේ විරුද්ධකාරයෝ සියලු දෙන ම අතුරුදහන් වන්නෝ ය.


පිළිතුරු ගීය :මාගේ සිත සමිදුන්ට ප්‍රසංශා කරන්න 

7 සමිඳාණෝ පීඩා විඳින්නන්ට යුක්තිය ඉටු කර දෙන සේක; 
සාගිනි වූවන්ට ආහාර දෙන සේක; 
8 එතුමාණෝ සිරකරුවන් මුදන සේක; 
අන්ධයන්ගේ ඇස් පහදන සේක; 
වැටී ගියවුන් නඟා සිටුවන සේක; 
සමිඳාණෝ දමිටුන්ට ප්‍රේම කරන සේක. 
9 විදේශීන් ආරක්ෂා කරන සේක; 
අනාථයන්ට හා වැන්දඹුවන්ට උපකාර කරන සේක; 
එහෙත්, දුදනාගේ යෝජනා සුන් කරන සේක. 
10 සමිඳාණෝ සදහට ම රජකම් කරන සේක. 
එම්බා සියොන් නගරය! 
ඔබේ සමිඳාණෝ සියලු පරම්පරා දක්වා රජකම් කරන සේක.
සමිඳුන්ට ප්‍රශංසා වේ වා!



දෙවන කියවීම /ජාකොබ් 2:14-18

14 මාගේ සහෝදරයෙනි, තමාට ඇදහිල්ල ඇතැ යි යමෙකු කීවත් ක්‍රියාවලින් එය ප්‍රකාශ නොවේ නම්, ඉන් වැඩක් ඇද් ද? එවැනි ඇදහිල්ලක් ඔහුට ගැළවීම ගෙන දෙයි ද? 15 යම් සහෝදරයකු හො‍් සහෝදරියක හෝ ඇඳුම් නැති ව, දිනපතා කෑම නැති ව සිටිය දී, 16 ඔබගෙන් යමෙක් ඔවුන්ගේ ශාරීරික අවශ්‍යතා සපයා නොදී: ''ඔබට දෙවි පිහිට යි, උණුසුමට ඇඳ පැළඳ, කා බී සතුටු වන්නැ''යි ඔවුන්ට කියන්නේ නම්, එයින් මොන යහපතක් ද? 17 ඇදහිල්ල ගැන කිය යුත්තේත් එය ම යි. ක්‍රියා විරහිත ඇදහිල්ල මළ ඇදහිල්ලකි. 

18 ''ඔබට ඇත්තේ ඇදහිල්ල ය, මට ඇත්තේ යහපත් ක්‍රියා ය. හොඳයි, ඔබ ක්‍රියා නැති ව ඔබේ ඇදහිල්ල පෙන්වන්න. මම මාගේ ක්‍රියාවලින් මාගේ ඇදහිල්ල පෙන්වමි''යි කියන්නට යමෙකුට පුළුවන්කම තිබෙනවා විය හැකි ය. 
සුවිශේෂය /මාක් 8:27-35

27 ජේසුස් වහන්සේ ද ශ්‍රාවකයෝ ද පිලිප්පි කායිසාරියේ ගම්වලට නික්ම ගියහ. මඟ දී උන් වහන්සේ, කතා කරමින්, ''මා කවරෙකු කියා මිනිස්සු කියත් දැ''යි ශ්‍රාවකයන්ගෙන් ඇසූ සේක. 28 ඔව්හු උත්තර දෙමින්, ''සමහරෙක්, 'ස්නාවක ජොහන් ය'යි කියති; සමහරෙක්, 'එලියා ය'යි කියති; අන් සමහරෙක්, 'දිවැසිවරයන්ගෙන් කෙනෙකැ'යි කියති''යි පැවසූ හ. 29 ''මා කවරෙකු කියා ඔබ කියන්නහු දැ''යි උන් වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක. ''ඔබ ක්‍රිස්තුවරයාණෝ ය''යි පේදුරු පිළිතුරු දුන්නේ ය. 30 උන් වහන්සේ ද තමන් ගැන කිසිවෙකුට නොකියන ලෙස ඔවුන්ට අණ කළ සේක.

31 එවිට උන් වහන්සේ මනුෂ්‍ය-පුත්‍රයාණන් බොහෝ දුක් වේදනා විඳින්නටත්, ප්‍රජා මූලිකයන් ද නායක පූජකයන් ද විනයධරයන් ද විසින් ප්‍රතික්ෂේප කරනු ලබන්නටත් මරනු ලබන්නටත්, තෙ දිනකට පසු නැවත නැඟිටින්නටත් නියම බව ඔවුන්ට උගන්වන්න පටන්ගත් සේක. 32 උන් වහන්සේ මේ ගැන ප්‍රසිද්ධියේ ම කතා කළ සේක. එකල පේදුරු උන් වහන්සේ පසෙකට ගෙන, උන් වහන්සේට තදින් චෝදනා කෙළේ ය. 33 උන් වහන්සේ හැරී, සිය ශ්‍රාවකයන් දෙස බලා, පේදුරුට තදින් චෝදනා කරමින්, ''සාතන්, අහකට යව, නුඹ සිතන්නේ, මිනිසුන් සිතන විධියට මිස දෙවියන් වහන්සේ සිතන විධියට නොවේ ය''යි වදාළ සේක. 

34 එවිට උන් වහන්සේ සිය ශ්‍රාවකයන් කැටුව සමූහයා තමන් වෙත කැඳවා ඔවුන් අමතා මෙසේ වදාළ සේක: ''යමෙක් මා අනුව එන්න කැමැත්තේ ද, ඔහු තමකම නසා කුරුසිය දරා, මා අනුව ඒ වා! 35 සිය ජීවිතය රැකගන්න තැත් කරන යමෙක් වේ ද ඔහු එය නැති කරගනියි. මා උදෙසාත්, සුබ අස්න උදෙසාත් සිය ජීවිතය පුදන යමෙක් වේ ද, ඔහු එය රැකගනියි.


Comments