උන් වහන්සේ එකිනෙකා පිට අත තබා ඔවුන් සුවපත් කළ සේක.

සැප් 05, බදාදා , අද සුපුවත 











පළමු කියවීම 

1 සහෝදරයෙනි, ශුද්ධාත්ම වරම ලත් අයට මෙන් ඔබට කතාකිරීමට මට නොහැකි බැවින්, පෘථග්ජනයන්ට, ළා බාල කිතුනුවන්ට මෙන් මම ඔබට කතා කෙළෙමි. 2 මම ඔබ දැඩි ආහාරයෙන් නොව කිරෙන් පෝෂණය කෙළෙමි. එසේ කෙළේ ඔබට ඒවා දැරීමට නොහැකි වූ බැවිනි. ඒවා දැරීම තවමත් ඔබට බැරි ය. 3 තවමත් ඔබ පෘථග්ජන තත්ත්වයේ ය. ඔබ අතර ඊර්ෂ්‍යාව හා විවාදය හා පවතින විට, ඔබ පෘථග්ජන අය මෙන් ලෞකික තත්ත්වයේ හැසිරෙනවා නොවේ ද? 4 කෙනෙක් මම පාවුලුගේ පැත්තට යයි ද තව කෙනෙක්, මම අපොල්ලොස්ගේ පැත්තට යයි ද කියන විට ඔබ සාමාන්‍ය මිනිස්සු නොවෙත් ද? 

5 අපොල්ලොස් කවරෙක් ද? පාවුලු කවරෙක් ද? ඔව්හු සමිඳාණන් වහන්සේ ඒ අයට දුන් ප්‍රකාර ඔබ ඇදහිල්ලට පැමිණවූ සේවකයෝ ය. 6 මම පැළ කෙළෙමි, අපොල්ලොස් වතුර දැම්මේ ය. එහෙත් එහි වැඩීම සැලසූයේ දෙවියන් වහන්සේ ය. 7 වැදගත් වන්නේ පැළ කළ තැනැත්තා වත්, වතුර දැමූ තැනැත්තා වත් නොව, වැඩීම සැලැසූ දෙවියන් වහන්සේ ය. 

8 පැළ කළ තැනැත්තා හා වතුර දැමූ තැනැත්තා අතර වෙනසක් නැත. එකිනෙකා තම තමාගේ වැඩය අනුව නිසි විපාකය ලබන්නේ ය. 9 මන්ද, අපි දෙවියන් වහන්සේ සමඟ සහකාර සේවකයෝ වෙමු. ඔබ දෙවියන් වහන්සේගේ කෙත ය, දෙවියන් වහන්සේගේ ගොඩනැඟිල්ල ය. 


පිළිතුරු ගීය :දෙවිදුන් තොර ගත් ජනතාව ආසිරි ලද්දෝය 

12 සමිඳුන් තමන් දෙවියන් කොට සලකන ජාතිය ද දෙවිඳුන් සතු උරුමය ලෙස තේරුණු සෙනඟ ද ආසිරි ලද්දෝ ය. 
13 හිමි තුමාණෝ සගලොව සිට නරඹන සේක; 
මුළු මිනිස් සංහතිය දක්නා සේක. 
14 එතුමාණෝ සිය මන්දිරයෙහි සිට ලෝවැසි සියල්ලන් දෙස බලන සේක.
15 ඔවුන්ගේ සිතුවිලි හැඩ ගස්වන්නේත්, ඔවුන්ගේ ක්‍රියා කල්පනාවට ගන්නේත් එතුමාණෝ ය. 

20 අපි හිමි තුමන් කෙරේ විශ්වාසයෙන් බලා සිටියෙමු. 
අපේ පිහිටත්, පලිහත් එතුමාණෝ ය. 
21 අපි එතුමන්ගේ සුවිශුද්ධනාමය කෙරේ විශ්වාසය තැබුවෙමු.
එබැවින් අපේ සිත් ප්‍රීතියෙන් පිනා යයි. 


සුවිශේෂය 

38 උන් වහන්සේ ධර්මශාලාවෙන් නැඟිට ගොස් සීමොන්ගේ ගෙදරට ඇතුළු වූ සේක. සීමොන්ගේ බිරිඳගේ මවට බලවත් උණ රෝගයක් වැළඳී තිබිණි. ඔව්හු ඈ උදෙසා උන් වහන්සේට කන්නලව් කළහ. 39 උන් වහන්සේ ද ඈ ළඟ සිට උණ රෝගය පහ ව යන්න අණ කළ සේක, උණ රෝගය ඇගෙන් පහ ව ගියේ ය. එකෙණෙහි ම ඈ නැඟිට ඔවුන්ට උපස්ථාන කළා ය. 

40 හිරු බැස යද්දී, නොයෙක් රෝගවලින් පීඩිත වූ අය භාර ව සිටි සියල්ලෝ ම උන් වහන්සේ වෙත ඔවුන් ගෙනාහ. උන් වහන්සේ එකිනෙකා පිට අත තබා ඔවුන් සුවපත් කළ සේක. 41 දුෂ්ටාත්මයෝ ද, ''ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ ය''යි බෙරිහන් දෙමින් බොහෝ දෙනෙකුගෙන් දුරු වූ හ. තමන් ක්‍රිස්තුන් වහන්සේ යයි ඔවුන් දැන සිටි නිසා උන් වහන්සේ ඔවුන්ට තරවටු කොට, කතා කිරීම තහනම් කළ සේක.

42 පසුදින පහන් වූ කල උන් වහන්සේ පිටත් ව හුදකලා තැනකට වැඩිය සේක. සමූහයා උන් වහන්සේ සොයා ගොස්, හමු වූ පසු, තමන් වෙතින් යන්න නොදී උන් වහන්සේ නවතාගන්න තැත් කළහ. 43 උන් වහන්සේ කතා කොට, ''මා වෙනත් නුවරවල ද දෙවියන් වහන්සේගේ රාජ්‍යය පිළිබඳ සුබ අස්න දේශනා කළ යුතු ය; මා එවන ලද්දේ ඒ සඳහා ය''යි ඔවුන්ට වදාළ සේක. 44 තවද, උන් වහන්සේ ජුදයේ ධර්මශාලාවල දේශනා කරමින් සිටි සේක.

Comments