ස්වාමීනි, අපටත් යාච්ඤා කරන්නට ඉගැන්නුව මැනව

අද සුපුවත කියවමු ,මෙනෙහි කරමු
ඔක් 10,බදාදා

පළමු කියවීම /ගලාති 2:1-2,7-11

1 අවුරුදු දහ හතරකට පසු මම බාර්ණබස් සමඟ තීතස් ද කැඳවාගෙන නැවත ජෙරුසලමට ගියෙමි. 2 මා එසේ ගියේ, මට දේව මඟ පෙන්වීමක් ලැබුණු බැවිනි. මා විජාතීන්ට දේශනා කළ සුබ අස්න එහි සිටි ප්‍රධානීන් ඉදිරියෙහි රහසිගත ව තැබීමි. එසේ කළේ මා පෙර කළ, දැන් කරන, සේවය නිෂ්ප්‍රභ නොවන පිණිස ය.

7 අනෙක් අතට, චර්මඡේදනය ලත් අයට සුබ අස්න දේශනා කිරීම පේදුරුට භාරවූවාක් මෙන්, චර්මඡේදනය නොලත් අයට එය දේශනා කිරීම මට භාර කරන ලද බව ඔව්හු පිළිගත්හ. 8 චර්මඡේදනය ලත් අයගේ ප්‍රේරිතයා වශයෙන් පේදුරු පත් කළ තැනැන් වහන්සේ ම විජාතීන්ගේ ප්‍රේරිතයා ලෙස මා පත් කළ සේක. 9 මේ සේවය මට භාර දුන් බව පිළිගත් සභා නායකයන් වන ජාකොබ්, පේදුරු සහ ජොහන් අතට අත දී බාර්ණබස් ද මා ද පංගුකාරකමට පිළිගෙන, විජාතීන් වෙත අප ද ජුදෙව්වන් වෙත ඔවුන් ද යා යුතු යයි තීරණය කළහ. 10 ඔවුන් අපෙන් කළ එක ම ඉල්ලීම නම් දිළිඳුන් සිහි කරන ලෙස ය. මා කරන්න ආශාවෙන් සිටියේත් එය ම ය.

11 පේදුරු අන්තියෝකියට ආ විට ඔහු වරදක් කර තිබුණ බැවින් මම එළිපිට ම ඔහුට විරුද්ධ වීමි. 12 ඒ වරද නම්, ඇතැම් අය ජාකොබ් වෙතින් එන්න ප්‍රථම ඔහු විජාතීන් සමඟ ආහාර වැළඳූ නමුත්, ඔවුන් පැමිණියාට පසු චර්මඡේදනවාදීන්ට භය ව, පසුබැස, වෙන් ව සිටීම යි. 13 ඔහු සමඟ අනෙක් ජුදෙව්වරු ද චපල ලෙස ක්‍රියා කළහ. බාර්ණබස් පවා ඔවුන්ගේ චපලකමින් මුළාවිය. 14 එහෙත් ඔවුන්ගේ හැසිරීම සුබ අස්නේ සත්‍යයට පටහැනි බව දුටු මම මුළු සමූහයා ඉදිරියේ පේදුරුට මෙසේ කීවෙමි. ''ඔබ ජුදෙව්වරයෙකු වන නමුත්, ජුදෙව්වරයෙකු සේ නොව, විජාතිකයෙකු සේ ජීවත් වූවෙහි ය. එසේ නම් විජාතීන් ජුදෙව්වරුන් සේ ජීවත් විය යුතු යයි ඔබ ඔවුන්ට බල කරන්නේ කෙසේ ද?''


පිළිතුරු ගීය :ලොව පුරා ගොස් සුභ අස්න දේශනා කරන්න



සුවිශේෂය /ලූක් 11:1-4

1 උන් වහන්සේ එක් තැනක යාච්ඤා කරමින් සිටි සේක. එය නිම වූ පසු උන් වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් එක් තැනැත්තෙක් කතා කොට, ''ස්වාමීනි, ජොහන් තම ගෝලයන්ට ඉගැන්වූ ලෙස, අපටත් යාච්ඤා කරන්නට ඉගැන්නුව මැනවැ''යි කීවේ ය. 

2 උන් වහන්සේ ඔවුන්ට මෙ‍සේ වදාළ සේක: ''ඔබ යාච්ඤා කරන කල මෙ‍සේ කියන්න: 

'පියාණෙනි, ඔබ වහන්සේගේ නාමයට ගෞරව වේ වා, ඔබ වහන්සේගේ රාජ්‍යය පැමිණේ වා. 
3 අපේ දිනපතා ආහාරය දිනෙන් දින අපට දුන මැනව. 
4 අපේ පව් අපට කමා කළ මැනව; 
මන්ද, අපට ණයගැති ව සිටින හැමට අප කමා වන බැවිනි.
අප පරීක්ෂාවට නොපමුණුවනු මැනව.' '' 



Comments