ඔබේ පියාණන් වහන්සේ ,තමන් වහන්සේගෙන් ඉල්ලන්නන්ට ශුද්ධාත්මයාණන් නොදෙන සේක් ද?''

අද සුපුවත කියවමු ,මෙනෙහි කරමු
ඔක් 11,බ්‍රහස්පතින්දා

පළමු කියවීම /ගලාති 3:1-5

1 අඥාන ගලාතිවරුනි, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කුරුසියෙහි ඇණ ගසන ලද වග ඔබගේ ඇස් ඉදිරියෙහි ප්‍රසිද්ධ ලෙස දක්වනු ලැබූ නමුත් ඔබ ඇස් බැන්දුමකින් මුළා කළෝ කවරහු ද? 2 ඔබෙන් මෙය පමණක් දැනගනු කැමැත්තෙමි. ඔබ ආත්මයාණන් වහන්සේ ලැබුවේ ව්‍යවස්ථාවේ ක්‍රියා කරණකොටගෙන ද? නැතහොත් සුබ අස්නේ පණිවුඩය පිළිගැනීමෙන් ද? 

3 ඇත්තට ම ඔබ ඔය තරම් මෝඩ ද? ඔබ දේවාත්මානුභාවයෙන් පටන්ගෙන, පිටස්තර, චාරිත්‍රයකින් ගැළවීම ලබන්න සිතන්නහු ද? 4 ඔබට ඇති වූ සියලු අත්දැකීම් නිෂ්ඵල වී ගියේ ද? එසේ නොවිය හැකි ය. 5 දෙවියන් වහන්සේ ආත්මයාණන් එවා, ඔබ අතර හාස්කම් කරන්නේ ඔබ ව්‍යවස්ථාව පිළිපදින නිසා ද, නැත්නම් සුබ අස්නේ පණිවුඩය අසා එය අදහන නිසා ද?





සුවිශේෂය /ලූක් 11:5-13

5 තවද උන් වහන්සේ ඔවුන්ට කතා කරමින්, ''ඔබ අතර මිතුරෙකු ඇති තැනැත්තෙක් මහ රෑ ඔහු වෙත ගොස්, 'මිත්‍රය, මට රොටි තුනක් දෙන්න; 6 ගමනක් යන මාගේ මිත්‍රයෙක් මා වෙත අවුත් සිටියි; ඔහුට දෙන්න කිසිවක් මා ළඟ නැතැ'යි කියන්නේ නම්, 7 ගේ ඇතුළේ සිට ඒ මිතුරා, උත්තර දෙමින්, 'මට කරදර නොකරන්න, දැන් දොර වසා තිබේ; මාගේ දරුවෝ ද මා සමඟ ඇඳේ නිඳා සිටිති; නැඟිට යමක් ඔබට දෙන්නට නොහැකි ය'යි කියයි ද? 8 මම ඔබට මෙ‍ය කියමි, ඔහු සිය මිත්‍රකම සලකා නැඟිට ඔහු ඉල්ලන දේ ඔහුට නොදෙතත් ඔහුගේ ලජ්ජා නැති පෙරැත්තය නිසා නැඟිට, වුවමනා පමණ ඔහුට දෙනු ඇතැ''යි වදාළ සේක. 

9 ''මම ද ඔබට කියමි, ඉල්ලන්න, ඔබට දෙනු ලැබේ; සොයන්න, ඔබට සම්බ වේ; තට්ටු කරන්න, ඔබට දොර අරිනු ලැබේ. 10 මන්ද ඉල්ලන හැමට ලැබේ; සොයන්නාට සම්බ වේ; තට්ටුකරන්නාට දොර හරිනු ලැබේ. 11 ඔබ අතරෙන් කවර පියෙක් තම පුත්‍රයා මාළුවකු ඉල්ලූ විට මාළුවා වෙනුවට සර්පයෙකු දෙයි ද? 12 නොහොත් බිත්තරයක් ඉල්ලූ විට ඔහුට ගෝනුස්සකු දෙයි ද? 13 මෙ‍සේ අයහපත් වූ ඔබ, ඔබේ දරුවන්ට යහපත් දේ දෙන්නට දන්නාහු නම්, ඊට කොපමණ වැඩියෙන්, ඔබේ ස්වර්ගීය පියාණන් වහන්සේ තමන් වහන්සේගෙන් ඉල්ලන්නන්ට ශුද්ධාත්මයාණන් නොදෙන සේක් ද?''






Comments