දෙවියන් වහන්සේ එක්කළ අය මනුෂ්‍යයා වෙන් නොකෙරේ වා

ඔක් 07,ඉරිදා 


පළමු කියවීම /උප්පත්ති 2:18-24

18 පසුව දෙවි සමිඳාණන් වහන්සේ කතා කොට, ''මිනිසා තනි ව විසීම සුදුසු නැත; ඔහුට සුදුසු සහකාරියක මවා දෙන්නෙමි''යි වදාළ සේක. 19 මෙසේ උන් වහන්සේ භූමියෙන් වනයේ සියලු සතුන් ද අහසේ සියලු පක්ෂීන් ද මැවූ සේක. ඉන්පසු මිනිසා උන්ට කුමන නම් තබන්නේ දැ යි බලනු පිණිස උන් මිනිසා වෙත ගෙනා සේක. මිනිසා එක එකාට තැබූ නාම, උන්ගේ නාම විය. 20 මෙසේ මිනිසා සියලු ගවමහිෂයන්ට ද අහසේ පක්ෂීන්ට ද සියලු මෘගයන්ට ද නම් තැබී ය. එහෙත්, ඔහුට සුදුසු සහකාරියක් නොවුවා ය. 

21 එවිට දෙවි සමිඳාණන් වහන්සේ මිනිසා බර නින්දකට පත් කළ සේක. ඔහු නිදා සිටිය දී උන් වහන්සේ ඔහුගේ ඉල ඇටවලින් එකක් ගෙන ඒ ස්ථානය වසා දැමූ සේක. 22 උන් වහන්සේ ඔහුගෙන් ගත් ඉල ඇටයෙන් ස්ත්‍රියක මවා ඔහු වෙත ගෙනා සේක. 

23 එවිට මිනිසා කතා කොට, ''දැන් ඉතින්, මාගේ ඇටවලින් ගත් ඇටය වන, මාගේ මාංසයෙන් ගත් මාංසය වන මැය, මිනිසාගෙන් ගත් හෙයින්, ඈට 'ස්ත්‍රී' කියා කියනු ඇතැ''යි පැවසී ය. 24 මිනිසෙකු තම පියා ද මව ද අත් හැර සිය භාර්යාවට බැඳෙන්නේ එබැවින් ය. මෙලෙස ඔව්හු එක් මාංසයක් වන්නෝ ය. 25 මිනිසාත්, භාර්යාවත් දෙදෙනා ම නග්න ව සිටි නමුත් ඔව්හු ලජ්ජා නොවූ හ.

පිළිතුරු ගීය : සමිදාණෝ අපට ආශිර්වාද කරන සේක්වා 


දෙවන කියවීම /හෙබ්‍රෙව් 2:9-11

9 එහෙත් අපට පෙනෙන්නේ, දේව දූතයන්ට වඩා මඳක් පහත් කරනු ලැබූ නමුත්, දිවි පිදූ නිසා, තේජස හා ගෞරවය නමැති කිරුළ පැළඳ සිටින ජේසුස් වහන්සේ ය. එසේ වූයේ දෙවියන් වහන්සේගේ කරුණාවෙන් සියල්ලන් උදෙසා දිවි පුදන නිසා ය. 

10 මන්ද, බොහෝ පුත්‍රයන් තේජසට ගෙන යන කල, ඔවුන්ගේ විමුක්තිදායකයාණන් වහන්සේ දුක් විඳීමෙන් පරිපූර්ණ කිරීමට, සියල්ල මවා ආරක්ෂා කරන දෙවියන් වහන්සේට යුතු ව තිබිණි. 
11 මන්ද, පිරිසිදු කරන්නා ද පිරිසිදු කරනු ලබන්නො‍් ද යන සියල්ලෝ ම එක ම පියාණන් වහන්සේගෙන් වෙති. ඒ කාරණය නිසා ජේසුස් වහන්සේ ඔවුන්ට සහෝදරයන් යයි කීමට ලජ්ජා නොවී: 

සුවිශේෂය /මාක් 10:2-12

2 පරිසිවරු අවුත් උන් වහන්සේ වචනයකින් අල්ලාගනු පිණිස, ''පුරුෂයෙකු විසින් සිය භාර්යාව දික්කසාද කිරීම නීතියට අනුකූල දැ''යි උන් වහන්සේගෙන් ප්‍රශ්න කළහ. 3 උන් වහන්සේ උත්තර දෙමින්, ''මෝසෙස් ඔබට කුමක් අණ කෙළේ දැ''යි ඔවුන්ගෙන් ඇසූ සේක. 4 ''දික්කසාද සහතිකයක් ලියා ඇය අත්හැර දමන්න මෝසෙස් අවසර දුන්නේ ය''යි ඔව්හු කී හ.

 5 එහෙත්, ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කොට, ''ඔහු මේ ආඥා පැණවූයේ, ඔබේ සිත් දැඩිකම නිසා ය. 6 එහෙත්, මැවීමේ මුල සිට ම දෙවියන් වහන්සේ ඔවුන් ස්ත්‍රී-පුරුෂ වශයෙන් මැවූ සේක. 7 ඒ හේතුකොට ගෙන මිනිසෙක් තම පියා ද මව ද අතහැර සිය භාර්යාවට ඇලුම් වන්නේ ය. 8 ඒ යුවළ ද එක ම මාංසයක් වෙති. මෙසේ ඔව්හු එවක් පටන් දෙදෙනෙක් නොව එක් කෙනෙක් වන්නෝ ය. 9 එබැවින් දෙවියන් වහන්සේ එක්කළ අය මනුෂ්‍යයා වෙන් නොකෙරේ වා!''යි වදාළ සේක. 

10 ශ්‍රාවකයෝ ගෙදර දී මේ කාරණය ගැන යළිත් උන් වහන්සේගෙන් ඇසූ හ. 11 උන් වහන්සේ ඔවුන්ට කතා කොට, ''සිය භාර්යාව අත්හැර වෙන ස්ත්‍රියක පාවාගන්න කවරෙකු නමුත් ඔහු ඈට විරුද්ධ ව කාමමිථ්‍යාචාරය කරයි. 12 ස්ත්‍රියක් ඇගේ පුරුෂයා අත්හැර වෙන කෙනෙකු සරණ පාවා ගන්නී නම්, ඈ ද කාමමිථ්‍යාචාරය කරන්නී ය''යි වදාළ සේක.



Comments