ඔබ බොහෝ දේ ගැන කරදර වෙමින් නළංගු වන්නෙහි ය. එහෙත් අවශ්‍ය එක දෙයකි.

අද සුපුවත කියවමු ,මෙනෙහි කරමු 
ඔක් 09,අඟහරුවාදා 

පළමු කියවීම /ගලාති 1:13-24

13 මා ජුදෙව් භක්තිකයෙකු ව සිටිය දී, කිසි අනුකම්පාවක් නැති ව දෙවියන් වහන්සේගේ සභාවට පීඩා කොට, එය විනාශ කරදැමීමට වෑයම් කරමින් හැසුරුණු අන්දම ගැන ඔබ අසා ඇත. 14 මාගේ පියවරුන්ගේ පරම්පරාගත සම්ප්‍රදායයන් කෙරෙහි උද්‍යෝගිමත් ව, මාගේ ජාතියේ සමකාලීනයන් බොහෝ දෙනෙකු පරදවා, ජුදෙව් ආගම මැනැවින් පිළිපැද්දෙමි. 15 එහෙත් දෙවියන් වහන්සේ ස්වකීය වරප්‍රසාදයෙන් මව් කුස පටන් මා වෙන් කොට තෝරාගෙන, 16 විජාතීන් අතර ස්වකීය පුත්‍රයාණන් ප්‍රකාශ කරන පිණිස ඒ පුත්‍රයාණන් මට එළිදරව් කිරීමට තීරණය කළ සේක. එවිට අවවාද ලබන පිණිස මා කිසි පුද්ගලයෙකු වෙත ගියේ වත්, 17 මට කලින් ප්‍රේරිතවරයන් ව සිටි අය හමු වන පිණිස ජෙරුසලමට ගියේ වත් නැත. එසේ නොව, මම වහා ම අරාබියට ගොස්, පසුව දමස්කයට පැමිණියෙමි. 

18 පේදුරු හමු වීමට මා ජෙරුසලමට ගියේ තෙවසකට පසුව ය. ඔහු සමඟ පසළොස් දිනක් ගත කෙළෙමි. 19 එහෙත් සමිඳාණන් වහන්සේගේ සොහොයුරු ජාකොබ් හැර වෙන කිසි ප්‍රේරිතවරයකු නුදුටුවෙමි. 20 මේ ලියන දේ සැබෑ බව දෙවියන් වහන්සේ ඉදිරියේ සහතික කර කියමි. 

21 පසුව මම සිරියාවේ හා සිලිසියාවේ පෙදෙස් වලට ගියෙමි. 22 ජුදයේ කිතුනු සභා ඒ තාක් මා දැනහැඳින සිටියේ නැත. 23 ඔවුන් දැන සිටියේ, ''වරක් අපට පීඩා කළ තැනැත්තා, තමා විනාශ කිරීමට තැත් කළ එම ඇදහිල්ල ම දැන් දේශනා කරන්නේ ය'' යන ප්‍රවෘත්තිය පමණකි. 24 ඒ නිසා ඔව්හු මා ගැන දෙවියන් වහන්සේට ප්‍රශංසා කළෝ ය.

පිළිතුරු ගීය : සමිදුනි ,සදා මාර්ගයෙහි මා ගෙන ගිය මැනව



සුවිශේෂය /ලූක් 10:38-42

38 තවද ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන් සමඟ යද්දී, උන් වහන්සේ එක් ගමකට ඇතුළු වූ සේක. එවිට මාර්තා නම් එක් ස්ත්‍රියක් සිය නිවසට උන් වහන්සේ පිළිගත්තා ය. 39 ඇයට මරියා නම් සහෝදරියක් වූවා ය. ඈ සමිඳාණන් වහන්සේගේ පාමුල හිඳ උන් වහන්සේගේ ඉගැන්වීමට සවන් දුන්නා ය. 

40 එහෙත් මාර්තා සත්කාර කටයුතු වැඩි වීමෙ‍න් කරදර වී සිටියා ය. ඈ උන් වහන්සේ වෙතට පැමිණ, ''ස්වාමීනි, මාගේ සහෝදරිය පැත්තකට වී සත්කාර කටයුතු මා පිට ම පවරා සිටින හැටි ඔබ සලකන්නේ නැද් ද? එබැවින් මට උදව් කරන්නට ඈට කිව මැනවැ''යි කීවා ය. 

41 එහෙත් සමිඳාණන් වහන්සේ උත්තර දෙමින්, ''මාර්තා, මාර්තා, ඔබ බොහෝ දේ ගැන කරදර වෙමින් නළංගු වන්නෙහි ය. 42 එහෙත් අවශ්‍ය එක දෙයකි. මරියා යහපත් දෙය තෝරාගෙන ඇත; එය ඈ කෙරෙන් පැහැරගනු නොලැබේ ය''යි වදාළ සේක.





Comments