මැයි 26, ඉරිදා -දිව්‍ය පූජාවේ කියවීම් සඳහා පිවිසෙන්න


පළමු කියවීම /ක්‍රියා 15:1-2,22-29

1 ජුදයෙන් සමහර දෙනෙක් අවුත්, ''මෝසෙස්ගෙන් පැවත එන සිරිත ලෙස ඔබ චර්මඡේදනය කරනු නොලැබුවහොත් ඔබට ගැළවීම ලැබිය නොහැකි ය''යි සහෝදරයන්ට ඉගැන්වූ හ. 2 එහෙයින් ඔවුන් ද පාවුලු හා බාර්ණබස් ද අතර වේගවත් වාද විවාද ඇති විය. මේ ප්‍රශ්නය ගැන ප්‍රේරිතයන් සහ සභා මූලිකයන්ගෙන් විචාරන පිණිස පාවුලු සහ බාර්ණබස් ද අන්තියෝකියෙන් තවත් සමහරෙක් ද ජෙරුසලමට යැවීමට නියම කරනු ලැබූ හ. 

22 එකල තමන් අතරෙන් නියෝජිතයන් තෝරාගෙන, ඔවුන් පාවුලු සහ බාර්ණබස් සමඟ අන්තියෝකියට යැවීම යහපතැ යි ප්‍රේරිතයන්ට ද සභා මූලිකයන්ට ද මුළු සභාවට ද පෙනී ගියේ ය. තෝරාගනු ලැබුවෝ නම්, සහෝදරයන් අතර මූලිකයන් වන බර්සබස් නම් ලත් ජූදස් සහ සීලස් ය. 23 ඔවුන් අත මෙසේ ලියා යවන ලදී: 

''ප්‍රේරිතවරයෝ ද සහෝදර සභා මූලිකයෝ ද වන අපි අන්තියෝකියෙහිත් සිරියාවෙහිත් සිලිසියාවෙහිත් වසන විජාතී වූ සහෝදරයන් වෙත සුබ පතමින් මෙසේ ලියා එවමු: 24 අපේ අනුමැතිය නොලත් සමහරෙකු අප අතරෙන් පිටත් ව ගොස්, නොයෙක් දේ කියා ඔබ කළඹමින් ඔබගේ සිත් අවුල් කළ බව අපි ඇසීමු. 25-26 එහෙයින් තමන්ගේ දිවි නොතකා, අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නාමය නිසා, ජීවිත කැප කළ අපගේ ප්‍රේමණීය බාර්ණබස් ද පාවුලු ද සමඟ, නියෝජිතයන් තෝරා ගෙන ඔබ වෙතට එවීම සුදුසු යයි රැස් වූ අපගේ ඒකමතික තීරණය විය. 27 එහෙයින් ජූදස් ද සීලස් ද ඔබ වෙත එවමු. ඔවුන් මේ කාරණා ම ඔබට කට වචනයෙන් ද කියනු ඇත. 28-29 එනම්, දේව පිළිමවලට පිදූ දෙයින් ද ලෙයින් ද බොටුව මිරිකා මැරූ සතුන් කෑමෙන් ද කාමමිථ්‍යාචාරයෙන් ද ඔබ වැළකිය යුතු බව මිස, වෙන කිසි බරක් ඔබ පිට නොතැබීම යහපතැ යි ශුද්ධාත්මයාණන්ටත් අපටත් පෙනී ගියේ ය. ඔබ මේවායින් වළකින්නහු නම් යහපති. ඔබට සෙත් වේ වා!'' 

පිළිතුරු ගීය :අහෝ දෙවිදුනි ,සියලු ජාතීහු ඔබ පසසත්වා

1 දෙවිඳාණෝ අප වෙත දයාව පෙන්වමින් අපට ආශීර්වාද කරන සේක් වා! 
ස්වකීය මුහුණ අප කෙරෙහි බබළවන සේක් වා! 
2 එවිට මුළු ලොව ඔබේ කැමැත්ත දැනගන්නේ ය; 
සියලු විජාතීහු ඔබේ ගැළවීමේ බලය දැනගන්නෝ ය. 

4 ඔබ සාධාරණ ලෙස මිනිසුන් විනිශ්චය කරන සේක;
මිහි පිට සියලු විජාතීන් හට ඔබ මඟපෙන්වන සේක; 
එබැවින් සකල ජනයා ප්‍රීතිමත් ව සතුටින් ගී ගයත් වා! 

5 අහෝ දෙවිඳුනි, ජනතාවෝ ඔබ පසසත් වා! 
සියලු ජාතීහු ඔබ පසසත් වා! 
7 අපේ දෙවිඳාණෝ අපට ආසිරි වස්වන සේක් වා! 
පොළො‍් වැසි සියල්ලෝ එතුමන්ට ගරු කරත් වා!



දෙවන කියවීම /එළිදරව්ව 21:10-14,22-23


10 ආත්මයාණන්ගේ ආනුභාවයෙන් ඔහු මහ උස් කන්දකට මා ගෙන ගොස්, ශුද්ධ නගරය වූ ජෙරුසලම දේව තේජසින් විරාජමාන ව, දෙවියන් වහන්සේ වෙතින් ස්වර්ගයෙන් බැස එනු මට පෙන්වී ය. 11 ඒ නගරයේ දීප්තිය ඉතා අනර්ඝ මාණික්‍යයක් මෙන් එනම්, පළිඟු මෙන් විනිවිද පෙනෙන සූර්යකාන්ත ගලක් මෙන් විය.

 12 වාසල් දොරටු දොළොසකින් යුත්, මහ උස් පවුරක් එය වටේ තිබිණි. ඒ දොරටු ළඟ දේව දූතයෝ දොළොස් දෙනෙක් වූ හ. ඒවා පිට ඉශ්රායෙල් පුත්‍රයන්ගේ ගෝත්‍ර දොළොසේ නාම ලියා තිබිණි. 13 නැගෙනහිරින් දොරටු තුනක් ද උතුරෙන් දොරටු තුනක් ද දකුණෙන් දොරටු තුනක් ද බස්නාහිරෙන් දොරටු තුනක් ද විය. 14 නුවර පවුරෙහි අත්තිවාරම් දොළොසක් විය. ඒවා පිට බැටළු පෝතකයාණන්ගේ ප්‍රේරිතයන් දොළොස් දෙනාගේ නාම දොළොස ලියා තිබිණි. 

22 මම එහි දේව මාලිගාවක් නොදිටිමි. මන්ද, සර්ව පරාක්‍රම දෙවි ස්වාමීන් වහන්සේත්, බැටළු පෝතකයාණෝත් ඒ දේව මාලිගාව වූ සේක. 23 දේව තේජසින් නුවර ආලෝක වූ බැවින් ද, බැටළු පෝතකයාණන් එහි පහන වන බැවින් ද එහි සූර්යයාගේ හෝ චන්ද්‍රයාගේ හෝ බැබළීමක් අවශ්‍ය නැත. 24 ජාතීහු එහි ආලෝකයෙහි ඇවිදිති. පොළොවේ රජවරු ස්වකීය තේජස ඊට ගෙනෙන්නාහු ය. 

සුවිශේෂය /ජොහන් 14:23-29

23 ජේසුස් වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, ''යමෙක් මට ප්‍රේම කරන්නේ නම්, හෙතෙම මාගේ ධර්මය පිළිපදින්නේ ය. මාගේ පියාණන් වහන්සේ ද ඔහුට ප්‍රේම කරන සේක. අපි ඔහු වෙතට පැමිණ ඔහු සමඟ වාසය කරන්නෙමු. 24 මට ප්‍රේම නොකරන්නා මාගේ ධර්මය නොපිළිපදියි. ඔබ අසන ධර්මය මාගේ නොව, මා එවා වදාළ පියාණන් වහන්සේගේ ධර්මය ය. 

25 ''ඔබ සමඟ සිටින අතර මම මේ දේවල් ඔබට කීවෙමි. 26 එහෙත් මාගේ නාමයෙන් පියාණන් වහන්සේ එවන සහායදායකයාණන් වහන්සේ, එනම්, ශුද්ධාත්මයාණන් වහන්සේ සියල්ල ඔබට උගන්වමින්, මා වදාළ සියල්ල ඔබට සිහිපත් කරවන සේක. 

27 ''ශාන්තිය ඔබ වෙත ප්‍රදානය කර යමි; මාගේ ශාන්තිය ඔබට දෙමි. මා එය ඔබට දෙන්නේ ලෝකයා දෙන්නාක් මෙන් නොවේ. ඔබේ සිත් කැළඹෙන්නට වත් බිය වන්නට වත් ඉඩ නොදෙන්න. 28 මම ගොස් නැවත ඔබ වෙතට එමි යි මා ඔබට කී බව ඔබ ඇසුවාහු ය. ඔබ මට ප්‍රේම කළාහු නම් මා පියාණන් වහන්සේ වෙතට යන බැවින් ඔබ ප්‍රීති වන්නහු ය. මන්ද, පියාණන් වහන්සේ මට වඩා උතුම් ය. 29 ඒ දේ සිදු වූ කල ඔබ විශ්වාස කරන පිණිස, එය සිදු වන්න පෙර, දැනට ම ඔබට කියා ඇත. 

Comments