මැයි 27,දිව්‍ය පුජාවට නියමිත කියවීම් සඳහා පිවිසෙන්න



පළමු කියවීම /ක්‍රියා 16:11-15

11 එහෙයින් අපි ත්‍රෝවසෙන් නැව් නැඟී, කෙළින් ම සමොත්‍රාසියට ද පසුවදා නෙයාපොලිසියට ද යාත්‍රා කර, 12 එයින් මසිදෝනියේ දිස්ත්‍රික්කයක ප්‍රධාන නගරය වූ ද, රෝම ජනපදයක් වූ ද පිලිප්පියට අවුත්, එහි කීප දවසක් නැවතී සිටියෙමු. 13 සබත් දවසේ දී, නුවර වාසලෙන් පිට යාච්ඤා ස්ථානයක් ඇතැ යි අපට සිතුණු බැවින්, අප පිටත් ව ගං තෙරකට ගොස් එහි රැස් ව සිටි ස්ත්‍රීනට කතා කෙළෙමු.

 14 ඔවුන් අතර ලිදියා නම් ස්ත්‍රියක් අපට සවන් දෙමින් සිටියා ය. ඈ තියාතිරා නුවරින් පැමිණි, දම්පාට සායම් බඩු විකුණූ වෙළෙන්දියකි; දෙවියන් වහන්සේට නමස්කාර කළ ස්ත්‍රියකි. පාවුලු කී කරුණු සිතට ගන්නා ලෙස දෙවියන් වහන්සේ ඇගේ සිත පැහැදූ සේක. 15 ඈ ද ඇගේ ගෙයි වැසියන් ද බව්තීස්ම-ස්නාපනය ලැබූ පසු, ඈ කතා කොට, ''මම සැබැවින් ම සමිඳාණන් වහන්සේ අදහන කෙනෙකැ යි ඔබ පිළිගන්නවා නම්, මාගේ ගෙදරට අවුත් එහි නැවතුණ මැනවැ''යි අපෙන් උදක් ම ඉල්ලා, අප කැමැති කරවා ගත්තා ය.

පිළිතුරු ගීය :සමිදාණෝ සිය සෙනග කෙරෙහි ප්‍රසන්න වන සේක 


1 සමිඳුන් පසසන්න. සමිඳුන්ට නව ගීතිකාවක් ද සැදැහැවතුන්ගේ සභාවේ දී එතුමන්ගේ පැසසුම් ද ගායනා කරන්න. 
2 තමන් මැවූ තැනැන් වහන්සේ කෙරෙහි ඉශ්රායෙල් ප්‍රීති වෙත් වා! 
තමන්ගේ රජුන් කෙරෙහි සියොන්හි දරුවෝ ප්‍රීතිමත් වෙත් වා! 

3 එතුමන්ගේ නාමයට රඟපාමින් පැසසුම් කරත් වා! 
රබන් ගසා, වීණා වයා එතුමන්ට පසස් ගී ගයත් වා! 
4 සමිඳාණෝ සිය සෙනඟ කෙරෙහි ප්‍රසන්න වන සේක. 
දීනයන් ජය සිරියෙන් සරසන සේක. 

5 සැදැහැවත්තු මහිමයෙන් යුක්ත ව ප්‍රීති වෙත් වා! 
සිය මුවින් සමිඳුන්ට පැසසුම් කරත් වා! 
මේ ගෞරවය එතුමන්ගේ සියලු සැදැහැවතුන්ට ඇත්තේ ය. 
සමිඳුන්ට ප්‍රශංසා වේ වා!

සුවිශේෂය /ජොහන් 15:26-16:4

26 ''මා විසින් ඔබ වෙත එවා වදාරන සහායදායකයාණන්, එනම්, පියාණන් වහන්සේ වෙතින් නික්මෙන සත්‍යතාවේ ආත්මයාණන් පැමිණි කල උන් වහන්සේ මා ගැන සාක්ෂි දරන සේක. 27 තවද, මුල සිට ම ඔබ මා සමඟ සිටි බැවින් ඔබත් සාක්ෂිකාරයෝ වන්නහු ය.

1 ''මේ දේවල් මා ඔබට කීවේ ඔබ අධෛර්යට පත් නොවන පිණිස ය. 2 ඔවුන් ධර්මශාලාවලින් ඔබ නෙරපාදමනු ඇත. එපමණක් නොව, ඔබ මරණයට පත් කරන අය, එය තමන් විසින් දෙවියන් වහන්සේට කරන පූජාවකැ යි සිතන කාලයක් පැමිණෙන්නේ ය. 3 ඔවුන් මේ දේවල් කරන්නේ, ඔවුන් පියාණන් වහන්සේ ද මා ද නොහඳුනන බැවිනි. 4 තවද, මා මේ දේවල් ඔබට කීවේ, ඒවා ඉටු වන කාලය පැමිණි විට, ඒවා ගැන මා කී බව ඔබට සිහි වන පිණිස ය.''



Comments