ජුනි 5,අද සුපුවත සඳහා මෙතැනින් පිවිසෙන්න

Related image

පළමු කියවීම /ක්‍රියා 20:28-38

මම දෙවියන් වහන්සේටත් උන් වහන්සේගේ වරප්‍රසාදදායක පණිවුඩයටත් ඔබ භාර කරමි.

28 ඔබ තමන් ම ද, ශුද්ධාත්මයාණන් වහන්සේ විසින් ගබඩාකාරයෙක් ලෙස පත් කරනු ලැබ ඔබට භාර දී ඇති රැළ ද රැකබලාගන්න. දෙවියන් වහන්සේ සිය පුත්‍රයාණන්ගේ යාගික රුධිරය හේතුවෙන් දිනා ගත් උන් වහන්සේගේ සභාවේ නායකයන් වන්න. 29 මා ගියායින් පසු, රැළට අනුකම්පා නොකරන, රෞද්‍ර වෘකයන් ඔබ අතරට පැමිණෙන බව දනිමි. 30 ඔබ අතරෙන් සමහරුන් ඉදිරිපත් ව, තමන් අනුව යන්නට ශ්‍රාවකයන් ඇදගන්නා පිණිස දුර්මත පළ කරනු ඇත

. 31 එබැවින් මා අවුරුදු තුනක් තිස්සේ දිවා රෑ දෙකේ කඳුළු හෙළමින් සියලු දෙනාට නිතර ම අවවාද කළ බව සිහි කර අවදිව සිටින්න. 
32 ''දැන් මම දෙවියන් වහන්සේටත් උන් වහන්සේගේ වරප්‍රසාදදායක පණිවුඩයටත් ඔබ භාර කරමි. ඔබ වැඩි වර්ධනය කිරීමටත්, කැප වූ සියලු අය සමඟ ඔබට උරුමය සාදා දීමටත් ඒ පණිවුඩයට හැකි ය. 33 මම කාගේ වත් රන් රිදීයට හෝ ඇඳුම් පැළඳුම්වලට හෝ ආශාවක් නොදැක්වීමි. 34 මාගේත් මා සමඟ සිටි අයගේත් අවශ්‍යතා පිරිමසාගැනීමට මේ දෑතින් මා වැඩ කළ හැටි ඔබ ම දන්නහු ය. 35 'ලැබීමට වඩා දීම භාග්‍යවන්ත යැ'යි ස්වාමීන් වන ජේසුස් වහන්සේ ම වදාළ වචන සිහි කර, දුබලයන්ට උපකාර කළ යුතු බව මෙසේ වැඩ කිරීමෙන් මම ඔබට පෙන්වා දුනිමි.'' 

36 ඔහු මෙසේ කියා ඔවුන් සියල්ලන් සමඟ දණින් වැටී යාච්ඤා කෙළේ ය. 37 ඔවුන් සියලු දෙනා හඬමින් පාවුලුගේ ගෙල වැළඳ ගෙන සාදරයෙන් සිඹ ගත්තෝ ය. 38 අනෙක් හැම දේට ම වඩා, තමාගේ මුහුණ යළිත් ඔවුන් නොදකිති යි ඔහු කී වචන ගැන, ඔව්හු ශෝක වූ හ. ඉන්පසු ඔව්හු ඔහු සමඟ නැව කරා ගියහ.

පිළිතුරු ගීය :මුළු ලොවෙහි රාජ්‍යයෙනි ,දෙවිදුන් හට ගායනා කරන්න

සුවිශේෂය /ජෝහන් 17:11-19


පියාණෙනි, අප මෙන් ඔවුන් ද, ඒකත්වයක් වන පිණිස, ඔබ මට දුන් ඔබගේ නාමයේ අනුහසින් ඔවුන් ආරක්ෂා කළ මැනව.

11 මම තවත් ලෝකයෙහි නොසිටිමි. එහෙත් ඔව්හු ලෝකයෙහි සිටිති. මම ඔබ වෙතට එන්නෙමි. සුවිශුද්ධ පියාණෙනි, අප මෙන් ඔවුන් ද, ඒකත්වයක් වන පිණිස, ඔබ මට දුන් ඔබගේ නාමයේ අනුහසින් ඔවුන් ආරක්ෂා කළ මැනව. 12 මම ඔවුන් සමඟ සිටිය දී ඔබ මට දුන් ඔබගේ නාමයේ අනුහසින් මම ඔවුන් ආරක්ෂා කෙළෙමි. මම ඔවුන් රැකබලාගතිමි. ශුද්ධ ලියවිල්ල සම්පූර්ණ වන පිණිස, විනාශයේ පුත්‍රයා හැර අන් කිසිවෙක් විනාශ නොවූ හ. 

13 එහෙත් දැන් මම ඔබ වෙතට එමි. මා ලෝකයෙහි දී මේ දේවල් ප්‍රකාශ කරන්නේ, මාගේ ප්‍රීතිය ඔවුන් තුළ සම්පූර්ණයෙන් ම ඇති වන පිණිස ය. 

14 මම ඔවුන්ට ඔබගේ දහම දුනිමි. මා ලෝකයට අයිති නොවන සේ ම, ඔවුන් ද ලෝකයට අයිති නොවන බැවින්, ලෝකයා ඔවුන්ට ද්වේෂ කළහ. 15 ඔබ ලෝකයෙන් ඔවුන් වෙන් කරන මෙන් මම යාච්ඤා නොකරමි; නපුරාගෙන් ඔවුන් ආරක්ෂා කරන මෙන් යාච්ඤා කරමි. 16 මා ලෝකයෙන් නොවන්නාක් මෙන් ම ඔව්හු ද ලෝකයෙන් නොවෙති. 17 සත්‍යයෙහි ඔවුන් කැප කළ මැනව; සත්‍යය නම් ඔබගේ ධර්මය ය. 18 ඔබ මා ලෝකයට එවා වදාළාක් මෙන්, මම ද ඔවුන් ලෝකයට යැවීමි. 19 ඔවුන් සත්‍යයට කැප වන පිණිස, මම ඔවුන් උදෙසා කැප වෙමි. 

Comments