2021 ජුනි ,30 අද සුපුවත



පළමු කියවීම : උප්පත්ති 21:5,8-20 

 ඊසාක් උපදින විට ආබ්‍රහම්ට වයස අවුරුදු එකසියයකි. දරුවා වැඩී කිරි වැරුවේ ය. කිරි වැරූ දිනයෙහි ආබ්‍රහම් මංගල්‍යයක් පැවැත්විය. 

 9 ආබ්‍රහම්ට දාව මිසර ජාතික හාගර්ගෙන් ලැබූ ඉෂ්මායෙල් තම පුත්‍රයා වන ඊසාක්ට සරදම් කරනු එක් දිනක් සාරා දුටුවා ය. 10 එබැවින් ඈ ආබ්‍රහම්ට කතා කොට, ”මේ දාසියත්, ඇගේ පුතාත් එලවා දමන්න, මේ දාසියගේ පුතු මාගේ පුත්‍රයා වන ඊසාක් සමඟ උරුමකරු නොවිය යුතු ය”යි කීවා ය. 

11 ඉෂ්මායෙල් ඔහුගේ පුත්‍රයා වන බැවින්, මේ ඉල්ලීම නිසා ආබ්‍රහම් දැඩි සිත් වේදනාවට පත් විය. 12 එහෙත්, දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කතා කොට, ”නුඹ හාගර් හා ඉෂ්මායෙල් නිසා කණගාටු නොවන්න. සාරා නුඹට කී සියල්ලට ම සවන් දෙන්න. ඒ මන්ද, නුඹේ පෙළපත ඇති වන්නේ ඊසාක් මඟින් ය. 13 හාගර්ගේ පුත්‍රයා ද නුඹට දාව උපන් බැවින් ඔහුට ද මම පෙළපතක් දෙන්නෙමි”යි වදාළ සේක. 14 පසු දින උදේ පාන්දරින් ආබ්‍රහම් නැඟිට රොටි ද වතුර බෝතලයක් ද ගෙන හාගර්ට දී, දරුවා ද ඇගේ කරේ තබා ඈ යන්න හැරියේ ය. ඈ ද නික්ම ගොස් බෙයර්-ෂෙබා නම් පාළුකරයේ මංමුළා වී ඇවිද්දා ය. 15 බෝතලයේ වතුර ඉවර වූ පසු ඈ පඳුරක් යට දරුවා තබා 16 හී සැරයක් පමණ දුර ගොස් වාඩි වූවා ය. ”දරුවා මැරෙනවා මා බලා ඉන්නේ කොහොම දැ”යි කියමින් ඈ ගොස් ඈතින් හිඳගත්තා ය. dදරුවා ද කෑගසමින් හැඬුවේ ය. 

17 දරුවාගේ හඬ දෙවියන් වහන්සේට ඇසිණි. උන් වහන්සේගේ දූතයා ස්වර්ගයේ සිට හාගර්ට කතා කොට, ”ඔබ කරදර වී ඉන්නේ කුමක්නිසා ද? බිය නොවන්න. දරුවාගේ හැඬීම දෙවියන් වහන්සේට ඇසී ඇත. 18 නැඟිටින්න, දරුවා ඔසවා අතට ගන්න, මම ඔහුගෙන් විශාල පෙළපතක් ඇති කරමි”යි කීවේ ය. 19 දෙවියන් වහන්සේ ඇගේ නෙත් පැහැදූ විට ඈ වතුර ඇති ළිඳක් දුටුවා ය. ඈ ද ගොස් භාජනය පුරවා, දරුවාට බීමට දුන්නා ය. 20 දෙවියන් වහන්සේ ද ඒ දරුවා සමඟ වූ සේක. ඔහු වැඩී, පාළුකරයේ පදිංචි වී දුනුවායෙක් විය. 

 පිළිතුරු ගීය : සමිදුනි අපගේ කන්නලව් වට සවන් දුන මැනව 

 6 හිමි තුමන්ට කන්නලව් කළ එක් අසරණයෙක් විය; 
එතුමාණෝ ඔහුගේ බස් අසා, සියලු දුක් ගැහැටවලින් ඔහු මිදූ සේක. 
7 හිමි තුමන්ගේ දූතයා දේව බය ඇති අය වට කර, කඳවුරු බැඳ, ඔවුන් මුදා හරියි. 

 9 එතුමන්ගේ සැදැහැවතුනි, එතුමන්ට ගරුබිය දක්වන්න; 
මන්ද, දේව ගරුබිය ඇති අයට අගහිඟයක් නැත. 
10 aධනපතීහු පවා කෑම නැති ව සාගින්නෙන් පෙළෙති; 
 එහෙත්, හිමි තුමන් සරණ යන අයට යහපත් දෙයින් කිසි අඩුවක් නැත. 

11 දරුවෙනි, මට සවන් දෙන්න. සමිඳුන්ට ගරු කිරීමට මම ඔබට උගන්වන්නෙමි. 


 සුවිශේෂය :මතෙව් 8:28-34

 උන් වහන්සේ එගොඩ ව, ගදරීන රටට පැමිණි කල, දුෂ්ටාත්මාවේශ වූ දෙදෙනෙක් සොහොන් ගෙවලින් නික්ම විත් උන් වහන්සේට මුණ ගැසුණාහ. ඔවුන් ඉතා දරුණු වූයෙන් ඒ පාරෙන් කිසිවෙකුට යන්න නොහැකි විය.

29 ඔව්හු මොරගසමින්, ”දෙවියන් වහන්සේගේ පුත්‍රය, ඔබ හා අප අතර මොන ගනුදෙනුවක් ද? නියමිත මොහොතට පළමුවෙන් අපට වද දෙන පිණිස මෙහි ආ සේක් දැ”යි කී හ.
30 ඈතින් මහා ඌරු රැළක් ගොදුරුකමින් සිටියහ. 31 දුෂ්ටාත්ම කතා කරමින්, ”ඔබ අප දුරු කරන සේක් නම්, ඌරු රැළට වැහෙන්නට අප හැරිය මැනවැ”යි උන් වහන්සේගෙන් අයැද සිටියහ. 32 ”පලයව්” කියා උන් වහන්සේ ඔවුන්ට අණ කළ සේක. එවිට දුෂ්ටාත්ම පිට වී ගොස් ඌරන්ට වැහුණෝ ය. ඒ මුළු රැළ ප්‍රපාතයෙන් පහළ මුහුදට වේගයෙන් දිව ගොස් ජලයේ ගිලී මළෝ ය. 33 ඌරු ගොවුවෝ පලා ගොස් නුවරට පැමිණ ඒ සියල්ල ද දුෂ්ටාත්මාවේශ වූවන්ට සිදුවූ දේ ද පැවසූ හ.

 34 එකල ඒ මුළු නුවර වැසියෝ ජේසුස් වහන්සේ හමු වීමට අවුත්, උන් වහන්සේ දැක, තමන්ගේ පළාතෙන් පිට වී යන ලෙස උන් වහන්සේගෙන් බැගෑපත් ව ඉල්ලා සිටියහ.

Comments